Saturday, June 10, 2017

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...

වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..

රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...

Sunday, June 4, 2017

සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි. බිඳී ඇහැරෙන රිදුම් අගුළු දමන්නට සදාතනික ප්‍රේමයට හැකි වුවද හුදකලාව හිත අයිතිකර ගන්නේ ඇසිල්ලකිනි. අතරමං වූ ප්‍රේමය වනාහී මතක සැමරුමකි. එක අතකට දිනෙන් දින අළුත් වෙයි. තවත් අතකින් අගුළු ලා ගනී. හුදකලාව කතා කරන්නේ මේ අතරමං වූ ප්‍රේමයටය. හදවත සීරුවට හූරන්නට දෙන අවසරයක් වැනිය. රිදෙන බව දැන දැනත් පෙම් කරන ඇසිල්ලක් පෙම්වත් වුන හිතක කොනක හෝ රැඳී ඇත. නොපිපි කුසුමක සුවඳ මෙන් දැනී නොදැනෙන මේ ඇසිල්ල පණ දෙන්නේ අතරමං වූ ප්‍රේමයටය. තනි වූ ප්‍රේමය පිරිසිඳුය. විශ්වාසවන්තය. වෙනස් වීමක් නොමැත. අඩු වීමක් නොමැත. මගේම පමණකි. ආදරය අකුරු හතරක් පමණක්ම නොවන බව කියාදෙන්නේ ළඟ රැඳී ගෙවෙන ඇසිල්ල නොව තනි වූ ප්‍රේමයයි. හැම පෙම් හිතකම කොහේ හෝ ප්‍රේමය රැඳී ඇත. හැම වෙන්වීමක්ම පළමු හමුවීම ඒ රැඳුනු ප්‍රේමය අසලින්ම තදින් ලියා තබන්නේ මතක පොත දිග හැරෙන්නේ එතැනින් නිසාවෙනි. හුදකලාව කියවන්නේ මෙ මතක පොතයි. ලියවුනු හැම ඇසිල්ලක්ම වඩ වඩා දැනේනනේ වෙන්වීමකට පසුය. හුදකලාව දුක සතුට අතරින් සුන්දර මතක කියවන්නේ අමුතුම රටාවකටය. දුටු මුල්ම නිමේෂයට, පළමු හාදුවට හුදකලාව රහසේම පෙම් බඳිනු ඇත. අත් අල්ලාගෙන ගිය මාවතක් ගානේම ඇසිල්ලකින් කරක් ගසයි. වේදනාව අළුතින් ලියයි. හිත පෙම්වත් කරන්නේ වේදනාවයි. මග දිගට ගහක් මලක් ගානේම වේදනාව සිත්තම් කරන්නේ හුදකලාවයි. මම ඒ සිත්තමට පෙම් කරන්නට ගත්තෙමි. සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

Friday, June 2, 2017

ලියා ඇති සත්තමයි


බිදී විසුරුණු
තවත් රිදුමක
හීනි අගිස්සක
ලියා ඇති ආදරේ
සත්තමයි
ඇස් ගැටෙන ගැටෙන
හැම තැනක
නවතින එක නෙමෙයි
පපුව මැද රිදෙන එක
විතරක්ම වෙයි දවසක
කියලා ...