Blogger Tricks Blogger Tricks

Wednesday, December 31, 2014

පිය නගමු දුරුත්තට ..


365 දිනකට
ජීවිතය අලුත් වන
තවත් දවසක්
එන්න වගේලු
හැබැයි හැමදාම වගේ
කරගත්තු, ලැබුණු
දෙයක් නැතිකොට
ඔය පරණ සිද්දිය
අලුතක් නොවේ මට
නොකර මග හැරුණු
වැඩ එකින් එක
අහුලමින් මම
පිය නගමි දුරුත්තට ..
31න් 1 ලබන
තවත් දවසකි මෙය
අමුතු පාටක් එහි
නැත මවන්නට
එකින්  එක හිත රැඳුනු
බලාපොරොත්තු
පොදි බැඳන් මම
පුරුදු කම්මැලි
සෙමින් ගමනෙම
පිය නගමි දුරුත්තට ..
කරන වාගේම
කරන්නට යන
සියලු දේවල්
සිතන විදියට
සිතන අයුරින්
ඉටුවන්න පතමින්ම
පිය නගමු දුරුත්තට ..

Saturday, October 25, 2014

නිමාවී හමාරයි

පැලය එක වරෙක 
ගසක් වනු ඇතිද එය 
නැත ලොවේ දකින්නට 
කෙනෙක් අද ඉතිරිව
ව්‍යසනය අරුත් දෙන 
සියලු දේ හමාරය 
අවසනක නිමාවයි 
මේ රුඟුම් රඟන්නේ 
දැවී ගිය ලෝ තලේ 
සැණකෙළිය මවන්නේ 
පැවසුවද යලි යලිත් 
නැහැ ඇසුම දැනෙන්නේ 
නිමාවී හමාරයි 
අළුව ගොස් මිහිතලේ 
අහස් ගැබ ඉරිතැලී 
ගිනි පුලිඟු ඇදහැලී 
ලෝකයම අඳුරු වී 
හමාරයි නිමාවී 
නිලට රත මුහු වෙමින් 
වැටුණු ඒ පුලිඟු කැට 
දෙදරවයි ලෝ තලේ 
වරෙක නොව
වතාවක් සියදහස් 
මෙය නොවෙද පැවසුවේ 
ගන්න මේ හුස්ම පොද 
රකින්නේ සොබාදහමින්ම 
වේ...... 


 
පින්තූරය අන්තර්ජාලයෙනි.

Wednesday, October 8, 2014

සුර ලොවකි හදවතට

නතර වුන හිත ගාව
ගෙවන හැම නිමේෂය
සුර ලොවකි හදවතට
නොවෙන අමතක දිනෙක
පුරාවට මා දිවිය...

තරු අවදි වී හිඳින
වෙලාවට පමණක්ද
අරුත ඇති නිදහසක්
දැනෙන්නේ හදවතට
හැම විටම...

නුඹයි මගේ හදගැස්ම
නිතර මුණ නොගැසුණත්
සුළු දෙයක් නොවුවද
රැඳෙනු මැන හද ලඟම
නිරතුරුව...

දිනෙක මේ හැමදේම
අවසන්ව නුඹ ලඟට
එන්න හැකිවෙයි
යලිත් හද විඳගන්න
සදහටම...

දුකක් නැත හදවතට
එකතු වන බව
දැනෙන විට හැමවිටම
නමුදු එක දුකක් ඇත
රිදෙන මුළු හදවතම...

අනිකක් නොවෙයි එය
නුඹේ හිත ගැනයි දුක
නමුදු දුක් නොවනු මැන
දිනක් ඇත වෙන් කෙරුණු
එක් වන්න සදහටම..

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)



Friday, August 15, 2014

නිමක් නැති සයුරු තෙර...



නිමක් නැති සයුරු තෙර 
ඉම කොනක් නොමැති මුත් 
ගිලුණු රතු හිරු මඬල 
සිහි කරයි අවසනක් 
බැඳුනු යුවලක් පෙමින් 
කල් ගෙවයි සන්තොසින් 
සුළං රැලි සරුංගල් 
රඟයි සැණකෙළිය මෙන් 
අඳුර ඉඩ ඉල්ලමින් 
එළිය වෙත ඉඟි කරයි 
නොදී බැරි කලෙක මෙන් 
එළිය යයි මිහිතලෙන් 
අද ගියද හෙට දින යලිත් 
එන බවට දිවුරමින් 
යයි ගිලී දැන් හෙමි හෙමින් 
කෙරුණ ඒ පිළිසඳර 
සයුර පමණක් දනියි... 

Friday, August 1, 2014

ගම්මානේ - 2



මොනවද අයියණ්ඩි ඇවිදින් කියවන්නේ
මම තව බහ නොදුන් බව නැහැ වාගේ දන්නේ
අප්පච්චිත් තවම අවසර දුන් නැහැනේ
ඔහොම බනින්නට අවසර තව නැහැනේ

නුඹ තව නොදත් දේ තියනවා වාගේ
මාමා කැමැත්තත් දීලා අහවරනේ
තනිපංගලමේ මේ විදියට කියවන්නේ
නම කැත වෙනවා දන්නේ නැහැ වාගේ

සිදුවූ සියල්ලම දුටු සුදු බණ්ඩාර
කිසිවක් කියාගන්නට  බැරි ආකාර
බැල්මක් හෙලා හරි දුක්පත්කාර
ඇසුවා නුඹ ඇයිද මේ හැටි හයිකාර

නඟාව ගන්නවා එන මහ කරකාරේ
වැඩ කටයුතු එහෙම ඇත්තේ මගේ බාරේ
ආයෙත් මෙහෙම මුණ නොගැහෙන්නට පාරේ
නවතන්නට ඕන මේ හිතවත්කම් පාරේ

කිසිවක් නොකී මේ සුදු බණ්ඩාර
ගියා ගොවිපැලට මැද්දෙන් මහ නියර
සිරිලුයි නඟයි හැරුනා යන්නට ගෙදර
පාලුයි මේ වෙද්දී මහ නුග ළඟ පාර

ගොම්මන් වැටෙද්දී මේ දෙන්නා ගෙදර
පැත්තට එද්දී ඇගේ අම්මා නිතර
මග බලමින් සිටියා වත්තේ ගුරු පාර
විදානෙ ඉන්නවා වත්තේ සරුසාර

මාමා මොකද මේ ගොම්මනේ මැද වත්තේ
යන්ටකෝ වලව්වට අපි මේ එනවානේ
නැන්දත් ඇවිත් ඇයි මේ කලබල වෙන්නේ
මම ඉන්නවනේ මේ හැම දේවල් මත්තේ

ඇයි උඹ මුණ එල්ලාගෙන ඉන්නේ
අයියත් එක්ක කතා බහක් නැහැ වගේනේ
එන්න  පුතේ මේ හරියෙන් ඉඳගන්නේ
වැඩ කටයුතු එහෙම කොහොමද පවසන්නේ

ඒ හැටි වැඩක් තිබුනේ නැහැ නොවැ නැන්දේ
ගල් කන්දට ගියා මම බලන්නට එහෙ යුද්දේ
ගල් හෙම ගෙනිහින්නේ හොරු සෑහෙන ගල් කන්දේ
කම්බි අදින්නට වෙනවා වතු මායිම මැද්දේ

දුවේ දන්නවනේ අයියා මෙහෙ එන්න
හේතුව නුඹව කරකාරෙට අරගන්න
දැන් හරි වයස නුඹ දීගෙක යන්න
අම්මයි මමයි කැමතියි මේකට ඔන්න

මේ දරුවට ඉතින් මොනවායින් අඩුවක්ද
සතුටින් දෙන්නා එක්ක ඉන්නට බැරි මොකද
අප්පච්චියි මායි මහ කාලයක් තව ඉන්නවද
අකමැති වෙන්න හේතුවක් හෙම නැහැ නේද

එහෙනම් තවත් දෑ අවුරුද්දක් ඕනේ
මගුලක් තකහනියේ අරගන්නත් බෑනේ
කරගන්නට වැඩත් ඔහෙලට හෙම ඇතිනේ
එතකල් සුදු නැන්දලාගේ ගෙදරට මම යන්නේ

මාමගේ කැමැත්තට ඉඩ දෙන්නට බැරිද
ඔය විදියට මුරණ්ඩු වෙන ඒක හරිද
ඔය පැතිවල ගිහින් ඉන්නට පුලුවන්ද
නැන්දත් නගාලට පොඩ්ඩක් කියනවද

අප්පච්චිට හොඳයි දැන් බොහෝ දුරට
යන්නට තිබෙන සති දෙකකට එක වරට
අම්මත් එක්ක යන්නට මහ රෝහලට
එනවා කලින් දින හැම වරකම ගමට

දුවත් කියන හින්දා තව ටික දවසක්
බලලා කතා කරගමු එක තීරණයක්
මාමත් ගෙදර ඇවිදින් නැහැ වැඩි දවසක්
උන්දැට හොඳ නැහැනේ වැඩිපුර කතා බහක්

පොඩි කාලෙත් මම හිටියේ එහෙ නොවේද
ගෙදර පැත්තේ ඇවිත් යන්න බැරි මොකද
අම්මා අප්පච්චි පරිස්සමට ඉන්නවද
ගෙනියන්නට තියන දේවල් හෙම දෙනවාද

එහෙනම් නැන්දේ අපි ඒ විදියට කරමු
අපෙ අම්මටත් මේ ගැන කියලා තියමු
හොඳ විදියට සිදු වෙනවා බව සිතමු
එහෙනම් දෑ අවුරුද්දකින් මංගල්ලය කරමු

මතු සම්බන්ධයි...



Sunday, July 13, 2014

නුඹ මැවූ සිරියාව, සැණකෙළියක්ම විය ...

වසත් කල හැඩ කෙරුව
සේද යහනා මැවූ
මිහිකතට පැහැය දුන්
සිරිය නුඹම විය
සරසවියට...

ලා රෝස මල් ඉහිණු
පෙම් කතා නෙත් හරුණු
සිතට සෙවණක් ගෙනා
මදනලක්ම විය අපට...

ගුම් නදින් සැනහෙනා
වා තාලය නුඹ නොමැති
අඩුව කෙලෙසක නම්
පුරවන්නද ..

ආදරණීය රොබරෝසිය,
නුඹ මැවූ සිරියාව
සැණකෙළියක්ම විය
පෙම් සිහින මවන්නට
සුවඳ සොයනා පෙමට...


පින්තූරය මුහුණුපොතෙනි.

Tuesday, July 1, 2014

නිදි නැති රැයේ මැදියමට



නිදි නැති රැයේ මැදියමට
ලොව නිවන සඳ මඬල
මතකයිද නුඹට
වරෙක හිනැහුණු විදිය
තරු වියන පිරුණු විට,
නමුදු අද අමාවක
තරු වියන එලෙසමය
නුඹ නොමැත දකින්නට
අහස් කුස සිව් දිගට
වරෙක එළියක් වුවද
අඳුර අත ලඟම බව
නොසිතුවෙමි මම
නමුත් තව රැඳෙමි මම
මුළු ලොවක් දිනන්නට ...


පින්තුරය අන්තර්ජාලයෙනි.

Monday, June 23, 2014

ඔබ නැතත් පුරුද්දට.....



පාසල් පටුමග දිගට
මුර කරන තුරු පෙලට
ඇසුණු ඒ පෙම් කවිය
ඇසෙනු ඇත අදද මට
ඇහැළ මල් වියන මත
පටලමින් අතින් අත
පිය නැගුව ඒ දිනය
දැනෙනු ඇත අදද මට
එක්ව එක මගක් ගිය
දිනය අද අවසන්ව
හුදකලා වෙලා මම
අප එදා ගිය මගම...
නුඹේ ඒ සරසවිය
ඉඩ නොදෙනු ඇත නුඹට  
ලං වෙන්න මට නුඹට
ඔබ නැතත් පුරුද්දට
පෝය දින පටුමගට
එමි ඇවිද තනි වෙන්න
නුඹේ සිහින මතක වල...

Tuesday, June 3, 2014

හැකිද මා වැනි වෙන්න...

යනෙන විට නුඹ සමග
පෙර දිනේ වීදි වල
ලැබුණු ඒ ගරු නාම
මගේද නැත්නම් ඔබෙද
කියා නොසිතුවෙමි මම
රතු පලස් එළෙන විට
දැනුනි ආඩම්බරය
තව වරක් නොසිතාම
රැගෙන යමි නුඹව මම
යහළු මිතුරන් හටද
පවසමින් මා ගැනම
නුඹ ලැබූ ඒ සතුට
දනිමි නුඹ ලෙස මමද
රැක බලා ගත් විදිය
සිහි කරමි නුඹ මාව
ඒ ලෙසට මාද නුඹ
බලා ගත්තෙමි නිතර...
යනෙන මග හැම විටම...  
නමුදු අද අසරණව  
ඉස්තාලේ දොර අසල
තනිවෙලා මම මෙලෙස
සවි බලය ඇත තවම
නමුත් නොදනිමි කරුණ
නුඹ ගෙනා සිව් සකට
හැකිද මා වැනි වෙන්න...


Thursday, May 15, 2014

සම්බුදු අසිරිය



සුදු නෙළුමක් සොඬින් ගත් ඒ මහිමයට 
ගජ සෙන් කුලේ සුදු ඇතුගේ ඇරයුමට 
පෙන්වා සිහින මහමායා දේවියට 
මහ බෝසතුන් වැඩියා අප පින් බිමට 

ලංවෙන විටදී සිය දරුවා ලැබෙන දින 
සිය මව් දකින්නට මහමායාව යන 
පෙරහැර ගියා පසුකර ලුම්බිණි උයන 
නියමිත උනා මහ බෝ උපදිනා තැන 

මුළු ලෝකයම සැනසුණු ඒ පින් මොහොතේ 
බෝසත් සිංහ නද ඇසුනා සතර අතේ 
බල විස්කම් දෙමින් පෙන්වා බලය සිතේ 
පිපුනා සත් නෙලුම් ලුම්බිණි උයන් පෙතේ 

බුදු බව පතා සිදුහත් කුමරුගෙ පෙරුම 
ඉටුවන දිනය වළකනවා යන සිතුම 
සුදොවුන් සිතට නිරතුරුවම ඇතිවීම 
පෙන්වයි රජුගෙ සිත පුතු හට තිබූ පෙම 

නොහැකිය වලකන්න ඒ පින්බර මොහොත 
ලොව සනසන්න කුමරුන් ලොව දිනනු ඇත
දෝතින් රැගත් ගුණ පින් බල මහිමයට  
වෙන සක්විති පදවි සිදුහත් හට කුමට 

දුටුවා පෙරනිමිති සතරක් එකිනෙහිම 
සිතුණා හැර යන්න රජගෙය එම දිනම 
පවසා චන්න හට කුමරුන් ඒ සිතුම 
යෙදුනා යන්න මැදුරෙන් පුන් පෝ දිනම 

නේරංජනා ගංතෙර නැවතී මොහොතක් 
පවසා සිතුම සැකෙවින් දක්වා අරුතක් 
ගලවා ආභරණ නොසිතා තව මොහොතක් 
කැපුවා කෙස් වැටිය දෝතින් ගෙන කඩුවක් 

සිතමින් ලබන්නට මහ බල බුදු පැතුම 
කෙරුවා සය වසක් සිරුරට දුක් දීම 
අවසන වැටෙද්දී බෝසත් සියොළඟම 
මරුවා පටන් ගති තුටු ජය පැන් බීම 

වීර්ය ගෙන බුදු සිතට කල ඒ පින් පැතුම 
බැහැ වලකන්න කිසිවිට මර සිතුමකට 
උපදා බලය මහ බෝසත් යලි සිතට 
පිරුවා පාරමී දම් බුදු වන අරමුණෙම 

මල් වැහි වැටුණි මුළු ලෝකය සනසන්න
හිරු කැන් දිලුනි පිවිතුරු බව දන්වන්න 
මහ රළ පෙලුණි බල මහිමය පෙන්වන්න 
බුදු පදවිය ලැබුණි සසරින් මුදවන්න  

පින්තුරය අන්තර්ජාලයෙනි.


Tuesday, May 13, 2014

තවත් උදෑසනක්..



අහස් ගැබ අඳුරු වුනු
හිරුට තහනම් උදේ
දුම්රියක් ඇදෙනවා
මහ වැස්ස වැටෙද්දී...

තාර දැමු රළු පාරේ
පවස නිවනා වෙලේ
නැගුනු ඒ මිහිදුමෙන්
සුවඳ දෙයි වා තලේ ...

මුහුදු රළ පෙලින් පෙළ
හැපි හැපී පෙණ බිඳෙන
මුහුදු කුස වැහි බින්දු
වහ වහා ගිල ගනියි....

ගෙවුණු ඒ නිමේෂයේ
සිත දුවයි හැම තැනම
නිතර යන සිත් උයනේ
නතර වෙයි අවසනදී...

පින්තුරය අන්තර්ජාලයෙනි.

Friday, May 9, 2014

නොහැක නොදකින්නට



යනෙන මග සැමතැනම
හමුවනා නුඹේ රුව
සිත ගැටෙනු ඇත නිතර...
කතා කළ, ලඟින් රැඳී
නුඹම නොහදුනන ලෙසින් අද
යන විටදී මගෙන් දුර
නොඑමි විමසන්න සැප දුක
පෙර ලෙසේ....

නුඹේ ඔය රුව මගේ
නෙත ගැටෙන විට නිතර
දුරින් සිට ඔබ දෙස බලා
සැනසුවෙමි සිත....
එකට ගෙවූ නිමේෂයන්
කියයි තනිකම හිතට
නුඹේ නොවෙයි වරද
පමණි මාගේම එය...

මල් පිපුණු වසන්තය
දකින්නට තවත් නැත
මල් නොමැති මල් උයනෙ
සමනලුන් හිඳ කුමට,
හැර වෙන්ව යනු මැනේ
නොඑන්නට කිසි දිනෙක,
මල් පිපෙන උයනකට...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

පින්තුරය අන්තර්ජාලයෙනි.

Monday, May 5, 2014

අපූරු මිනිසෙක් ගැන සටහන් තබමි

මාගේ මතකයේ හැටියට ඒ 2002 වසරයි.පළමුවරට ක්‍රිකට් තරගයක් නැරඹීමට මට හැකිවිය.අයියලා කවුරුත් නැති නිසාත් තාත්තා ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් නැති නිසාත් කුඩා කල මාහට අපේ භාෂාවෙන් කියන අයුරින් මැච් එකක් බලන්න චාන්ස් එකක් සෙට් වුනේම නැත.නමුත් ලද අවස්ථාවෙන් හිතේ හැටියට බලන්න පටන් ගතිමි.මැච් නොබලුවද ඒ දවස්වල සිට අද දක්වා තිබෙන මැච් පිස්සුව නිසා ක්‍රීඩකයන්ගේ නම් සියල්ලක්ම පාහේ දැනගෙන සිටියෙමි.මේ අතුරින් කිහිප දෙනෙක් මා ප්‍රියකළ අය අතර විය.මුළු තරගය පුරාවටම මා එක් විශේෂ පුද්ගලයෙක් දුටුවෙමි.ලද මොහොතින් ඒ ගැන සටහනක් මෙලෙස තබමි.




ඔහු සෙමෙන් එක් අන්තයකින් දිව එද්දී සියලු දෙනාම ඔල්වරසන් දීමෙහි අඩුවක් නම් කරන්නේ නැත.ඔහුගේ පන්දුවට මුහුණ දෙන්නේද දෙවරක් තුන්වරක් සිතා බව නම් පැහැදිලි කරුණක් විය.ඔහු පන්දු රැකීමද මනාව කළේය.ඔහුගේ ක්‍රීඩා දිවියේ කල වික්‍රමයන් ගැන සටහන් නොතබමි.නමුත් ඔහු ගැන ලිවිය යුතුමය.ඔහු නමින් මුත්තයියා මුරලිදරන් ය.නම කිවූ සැනින් මතකය එන අපූරු මිනිසෙකි.ආදරයට කිවේ මුරලි කියාය.තරග කරන්නට කෑදර වීමක් මා කිසි දිනෙක දැක නැත.සිනා මුසු මුහුණින් නිරතුරුව සිටි ඔහුට බාධා විශාල ප්‍රමාණයක් එල්ල විය.ඒ ඔහුගේ විශේෂ හැකියාව නිසාමය.ඔහුට තරග වලින් ඉවත් වී සිටීමටද සිදු විය.පරීක්ෂණ ගණනාවක්ම පැවැත්විණි.ඔහු කෑගසන්නට ගියේ නැත.ඉල්ලීම් දිනාගැනීමට උපවාස කලේද නැත.ඔහු වැඩේ කරලා පෙන්වන ජාතියේ අයෙකි.ඔහු මෙවරද එසේ කළේය.ක්‍රිකට් වල උරුමක්කාරයන් යැයි කියාගන්නා අයවලුන් පරදා අවසානයේ ඔහු ජය ගත්තේය.කොටින්ම කිවතොත් මුළු ක්‍රිකට් ලෝකයම ඔහුට නොපෙන්වන බියක් දැක්වූ බව නම් ඉඳුරාම පැවසිය හැකිය.ඔහු දමිළ ජාතිකයෙකි.එවකට ලංකාවේ LTTE ත්‍රස්තවාදය පැවති කාලයයි.නමුත් සිංහලයන් ඔහු සමග බැඳුනේ ඔහුගේ ගතිගුණ හා හැකියාවන් නිසාවෙනි.

අවසානයේ ක්‍රිකට්‌ ලොව සියලු දෙනා ඔහුව පිළිගත්හ.ඔහු ටෙස්ට් කඩුලු 800 සීමාවද පසු කළේය.නමුත් ඔහු ක්‍රීඩා කලේ නම්බු නාම ගන්නට නොවේ.වාර්තා තමා සතු කරගන්නටද නොවේ.අවසානය ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කලේ පෙර දැනුම්දීමක්ද සහිතවය.ඔහුට කඩුලු ගැනීමේ අවශ්‍යතාවක් තිබුනේ නම් ඔහු කරන්නේ කඩුලු 800 ලබාගත් පසුව ටෙස්ට් තරග වලින් ඉවත් වීමයි.අවසාන තරගය පෙර ඔහු සතුවුයේ කඩුලු 792 කි.ඔහු පැවසුවේ තමාට එය ලැබිය යුතු නම් ලැබෙන බවය.මාගේ විශ්වාසයද එයම වේ.ඔහු මා සිත් ගැනීමට එයද හේතුවකි.වසර 30ක යුද්ධය නිමාවූ පසු මුරලිට විදේශීය නාලිකාවක වැඩසටහනකට ආරාධනා ලැබිණි.නම් ගම් සහිතව විවේචනය මා එතරම් කැමැත්තක් දක්වන දෙයක් නොවේ.එබැවින් ඒ ගැන නොලියමි.මේ වැඩසටහන තුලදී ඔහු ලවා වැරදි ප්‍රකාශයන් ලබාගන්නට නිවේදකයා මහත් වැයමක් ගත්තේය.මුරලි පැවසුවේ අදහස් කීපයකි.ඔහු දමිළ බවත්, යුධ සමයේ 1977 දී ඔහුගේ නිවසද විනාශ වූ බවත් ඔහු මතක් කර දුන්නේය.අවාසනයේදී නිවේදකයාට පැවසුවේ "what jesus said, forgot and forgive and go" කියාය.මුරලි සැබවින්ම ශ්‍රී ලාංකිකයෙකි.ඔහු ජාතිය පාවා දුන්නේ නැත.රට පාවා දුන්නේ නැත.මහත්මයන්ගේ ක්‍රීඩාව මහත්මයෙකු ලෙස කල ඔහු සැබවින්ම විශිෂ්ට චරිතයකි.





ඔහුගේ උපන් දිනය පසුගිය අප්‍රියෙල් 17 වෙනිදාවට යෙදී තිබුණි.මේ සටහන ඒ වෙනුවෙනි.


පින්තුරය අන්තර්ජාලයෙනි.

Thursday, May 1, 2014

දෙව් උයනකි



වෙල් සියකි
නිල් දියකි
පන්සලකි
ගම් ගොඩකි

තුරු පසකි
සිසිල රැකි
පවස මෙකි
නිවිය හැකි

පණ දහසකි
එකම සිතකි
ගුණ කම් රැකි
එක පවුලකි

ගුරු පාරකි
ඉපනැල්ලකි
දොළ පාරකි
දෙව් උයනකි

පින්තූරය අන්තර්ජාලයෙනි.

Sunday, April 27, 2014

සිත් මල් විල


තනිව මුළු ගැන්වෙමින්
නිදමි මම ලැබෙනතුරු
මසිත හද මල් විලට
සතුට දෙන නිදහසක්....

නැත ඉමක් හෝ කොනක්
අතරමං වෙලා මං
නුඹට පෙම් බැඳී වරද
නැවත නොකරමි මං....

නැහැ සිතක් විදින්නට
ජීවිතය බිඳක් වත්
තුරු හඬන ගිම්හානෙ
ගසක් වෙමි මං....

නොහැක මට කරන්නට
නුඹ කැමති විදියටම
ආදරය සැමවිටම
හිඳින්නම් තනිව මං....

සැබෑ පෙම යනු ලොවේ
නිරතුරුව හමුවීම
පෙම් වදන් තෙපලීම
වුනේ නැත කිසි දිනෙක....

නුඹට නොහැඟෙන
මට හැඟෙන එය
කවදා කෙලෙසක
වටහා ගනීදැයි නුඹ
නොදනිමි මං.....

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

Wednesday, April 23, 2014

රොන් ගති බමරු


ලොව සුවඳවත් කරන
පියුම් ඇත ලොව
බොහොමයක් සතර දෙස
බමරු යන එන නිතර..
අසරණයි මල මෙලෙස
බමරු යනෙන විට නිතර
නමුත් දිය යුතුව ඇත
රොන් යනෙන බමරුන්ට
සුවඳ පමණක් රැගෙන
රොන් නොගෙන ඇවිත් යන
බමරු, සැනසිල්ල වේ මලට....

මෙවන් පියුමන් බොහෝ ඇත
නමුත් අසීරුය දකින්නට
එයයි ඒ උරුම වූ
ජීවිතය එවන් පියුමකට...

නොහැගුනු සිහිනෙක

ලියන්නට පද සහසක්
නොලැබෙන නුඹ ගැන රහසින්
ගෙවමි කල් මේ අයුරින්
සිතා නුඹ ගැන මං...
නොහැගුනු සිහිනෙක
සිත්තම්කරු වී
අකුරු කරනෙමි මං...

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

Tuesday, April 22, 2014

දියතලාවේ සොඳුරු මතකය


ගෙවී ගිය විසි එක් දින
ගෙවුණු බව නොදැනුනත්
එකතු වූ මතකයන්
තවමත් සනසයි සිත..

පැයෙන් පැය දිනෙන් දින ගෙවී ගොස්
සවිමත් වූ මිතුදම් අප තුල
පවතීවි දිවි ඇති තෙක් සිතේ
අනගි සිත්තමක් මෙන්..

පළමු දින සිට කඳවුරේ
කල කී දේ බොහෝ තිබුණත්
එකට සිටියත් අප සැම එකා මෙන්
ඒ වෙන්වුණු මොහොත
කෙසේ අමතක කරන්නද ??

(සැ.යු. දියතලාව ඉතාම ලස්සන මනරම් ප්‍රදේශයකි.)

Sunday, April 20, 2014

ගම්මානේ




ගම් මැද එදා නුඹ දුටුවම හැඩකාර 
සිතුනා බලන්නට නුඹේ වත පියකාර 
නොබලම ගියා නුඹ ආඩම්බරකාර 
කරගන්නට සිතුනි නුඹ මගේ කරකාර

මට නැත වස්තු දේපල වගෙ හැමදේම 
කරනෙමි ආදරය සැමදා හැම ලෙසම 
එයවේ මෙමා සතු වන මුළු සේසතම 
හැකිය රැක ගන්න නුඹ මගේ පණ සේම

හමුවිය නැවත දින හතකින් වාගේ 
කැමති නුඹව කරගන්නට මාගේ 
සිටියෙමි බොහෝ කල් මේ වාගේ 
ඒ ගැන මොකද අදහස මගෙ නංගාගේ

මම නුඹ දනිමි අයියණ්ඩිය පෙර සිටම 
නරකක් නැහැය පවසන්නට එහෙම
මහන්සි නැද්ද වැඩ කරලා එහෙම 
මට බැහැ නුඹව රිද්දන්නට මෙහෙම 

කියන්න බැරි දෙයක් හෙම තියනවද
මගේ අඩුපාඩු මොනවද කියනවද
නුඹ වෙනකෙක්ට බහ දීලා තියනවද  
දැනගන්නට ඕන නංගියේ කියනවද 

අසන විටදී කෑගසමින් මෙහෙට 
එනවා දුටිමි කිසිවෙක් අප දෙසට
මේ මගේ පන්තියේ මා ළඟ එකට
සිරිල් නොවේද පැනලා ගිය රටට 

කොහොමද ඉතින් ආවේ කවදාද ගමට 
කියන්න හැදුවා මා එය සතුටින් ඔහුට 
සිටියා සිරිල්  එනතුරු මා ළඟට 
තරහින් සිටින බව මා දැක්කේ එවිට 

මොකටද මෙහෙම කෑගහමින් ඉන්නේ 
අපි නැහැ හේතුවක් ඕවට දන්නේ 
නැවතිලා හෙමින් එය කියලා ඉන්නේ 
පසුවට බලමු මොන පියවර අරගන්නේ 

ඇයි උඹ මෙතන කද දාගෙන ඉන්නේ 
නඟාට හවස් වෙන ඇයි නොදැනෙන්නේ 
ලජ්ජා නැතිද මේ විදියට කියවන්නේ 
මම එන මහේ කරකාරෙට ගන්නවනේ 

කොටස් කීපයක් ලෙස පලකිරීමට අදහස් කරමි.
මතු සම්බන්ධයි...

Friday, April 18, 2014

ඉරට හොරෙන්

ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ 
හීතල නැතිදෝ මගේ අම්මේ 
පාන්දරින් කිරි කපන්න යනකොට 
මට ඇඩෙනවා මගේ සුදු අම්මේ... 
පොත් ටික ගත්තට පාඩම් වෙන්නෑ   
හිත නුඹ ගැනමයි දිව යන්නේමම  
ලොකු වීලා කාසි හොයනවා 
එදාට දුක දෙන්නෑ අම්මේ...  

පාසල ඇරිලා ගෙදර එන්නේ නෑ 
ගස් කට්ටියටයි දිව යන්නේ 
පොල්කටු වල කිරි අකුලනවා මම  
බඩගින්නක් නෑ මට එන්නේ...  
කිරි ගෑවුණු කළු ලස්සන රෙද්දට  
තුරුළු කරන් මගේ සුදු අම්මේ  
ගල උඩ ඉඳගෙන කතා කියනකොට  
බත් කන්නට ආසයි අම්මේ.... 

ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ... 

පන්තියේ අය මට ඔච්චම් කරන්නෙ 
කිරි පැල්ලම් සුදු කමිසේ මගේ
තනියම අඬලා මම සැනසෙනවා 
අම්මට කියන්න බෑනේ අනේ...
හැමදාමත් දෙයියෝ දුක දෙන්නෑ 
කියන කතා සුදු අම්මා මගේ 
හිතේ තියාගෙන පාසල් යන්නම්
පරමල් නෑ මගේ දෙවට දිගේ... 

ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ...

මේ සින්දුව හිතට ගොඩක් දැනුණු සින්දුවක්.ඉතින් මුලින්ම ඒ ගැන ලියන්න හිතුවා.මේ සින්දුව කියන්නේ චාමර රණවක කියන ගායකයා.ටිකක් අමුතු ආරක ගීත ගායනා කරන ගායකයෙක්.දුප්පත් පවුලක පාසල් යන කුඩා දරුවෙක් හා අම්මා කෙනෙක් වටා ගෙතෙන මේ ගීතයේ සරල වචන වලට දරුවාගේ හිතේ අම්මට තියන ආදරේ මුසු කරලා සංකීර්ණ අරුතක් එක්කරන්නට සමත් වෙලා තියනවා.

දුප්පත්කම නිසාම මේ අම්මට ගොඩක් පාන්දරින් නැගිටින්න වෙලා තියනවා කිරි කපන්න යන්න.නමුත් මේ බව දන්න පුතත් හැමදාම ඒ වෙද්දී ඇහැරෙන්නේ අම්මට තියන ආදරේ වැඩි කමට.දරුවට තාත්තගේ අඩුව නොදැනෙන්න තරමට අම්මත් දරුවට ආදරේ කරනවා.තමන්ට මේ තරම් සිතල දැනෙද්දී අම්මා කොහොමද සිතල දරාගන්නේ කියලා ඒ පුංචි හිතට දැනෙන්න ඇති.ඒ ආදරේ කොච්චරද කියලා ගීතය පටන් ගන්න වෙලාවේදීම ඉස්මතු කරන්නේ "ඉරට හොරෙන් නුඹ නැගිටින්නේ....හීතල නැතිදෝ මගේ අම්මේ" කියන වදන් පෙලින්.ඒ වගේම මේ කුඩා දරුවට ඕන අම්මා මේ තමන් වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න.නමුත් අම්මා ගැන මේ දරුවට නිතරම මතක් වෙන නිසා නිතරම ඒ ගැන හිතුවත් "ලොකු වීලා කාසි හොයනව... එදාට දුක දෙන්නෑ අම්මේ... " කියන පදයෙන් අම්මා වෙනුවෙන් ඉගෙනගන්නවා කියන එක මේ පුංචි දරුවාගේ හිතට තදින්ම දැනුණු කාරනාවක් වෙලා තියනවා.



අම්මා තනියම මහන්සි වෙද්දී මේ දරුවට ඒක ඉවසන් ඉන්න බැහැ.මේ නිසාම පාසල අරුණු හැටියේම දුවන්නේ අම්මා ළගට.ඒ වෙද්දීත් අම්මා කිරි කපනවා, එදා දවස ගෙවා ගන්න ඕන කරන සොච්චම උපයගන්න.මොකද අම්මා දන්නවා තමන්ගේ දරුවා පාසලට යවන්නේ, දරුවාගේ කුසගින්න නිවන්නේ මේ දහදිය බින්දු කියලා.මේ හැමදේටම වැඩිය මේ දරුවා අම්මගේ ළග රැදෙන්නයි කැමති.හැමදාම මේ වගේ වැඩ කරලා වුණු මහන්සිය "කිරි ගෑවුණු කළු ලස්සන රෙද්දට" කියන පදය ලස්සනට නිරුපණය කරනවා.අම්මගේ ඇදුම කොච්චර පරණ උනත්, අවලස්සන වෙලා තිබුනත් මේ දරුවා අම්මට තියන සෙනෙහස නිසාම ලස්සන කියන වචනේ භාවිතා කරනවා ඒ ගැන කිසිම අකමැත්තක් දක්වන්නේ නැතිව.ඒ වගේම මේ දරුවා ලොකු වෙලා අම්මව ආදරෙන් රැක බලා ගන්නවා කියන දේත් මෙතනින් දක්වලා තියනවා.මේ අම්මා දන්නවා තමන් කරන කැපකිරීම වැඩක් නැති වෙනවා කියලා දරුවා වැරදි මගකට ගියොත්.මේ නිසා මේ අම්මා දරුවට මේ දේවල් කියලා දෙන්නත් අමතක කරන්නේ නෑ.අම්මා දරුවා ගැන තියන විස්වාසය කොපමණද කියන වගට "හැමදාමත් දෙයියෝ දුක දෙන්නෑ .... කියන කතා සුදු අම්මා මගේ..." පද පෙළ සාක්ෂි කියනවා.දරුවත් අම්මගෙන් මේ දේවල් ඉගෙන ගන්න තියන කැමැත්ත මනාව පෙන්නලා තියනවා "බත් කන්නට ආසයි අම්මේ...." කියන පද පෙලින්.

පාසල අරුණු හැටියෙම කිරි කට්ටියට යන නිසා මේ දරුවාගේ ඇදුම් වල කිරි කහට ගෑවෙනවා.සතියේ දවස් පහම එකම ඇදුම හෝදලා අඳින නිසා මේ ගෑවෙන පැල්ලම් නම් යන්නේ නැහැ.ටික ටික වැඩි වෙනවා විතරයි.මේ දේවල් නිසා පාසලේදී ලජ්ජා වුනත් මේ දරුවා මේ ගැන කිසිම දෙයක් අම්මට කියන්නේ නැත්තේ අම්මට තවත් බරක් දෙන්න බැරි නිසා.අම්මගේ හිතේ දරුවා ගැන තියන විස්වාසය මේ පුංචි දරුවා දන්නවා, දරුවටත් තමන් ගැන ඒ තරමටම විස්වාසයි.මේ නිසාම අම්මගේ බලාපොරොත්තුව ඉටු කරන්න තවත් හිතට ධෛර්ය අරන් පාසලට පිය මනින බව "හිතේ තියාගෙන පාසල් යන්නම් ... පරමල් නෑ මගේ දෙවට දිගේ... " රචකයාගේ හිතේ මැවෙන්නේ කියන පද පේලියෙන්.

තවත් ආදරණිය අම්මා කෙනෙක් කරන කැපකිරීමක් අකුරු කළ නිර්මාණයක් කිව්වොත් නිවැරදියි.අසරණකම උපතින් උරුම කරගත්තත් ඒ දේවල් වෙනස් කරන්න පුළුවන.මන්ද අතීතය වෙනස් කරන්නට නොහැකි වුවද වර්තමානය තුලින් අනාගතය වෙනස් කළ හැකි නිසාවෙනි...

සින්දුව මෙතනින් අරන් අහලා බලන්න.


Wednesday, April 16, 2014

ඔබෙන් සමුගනිමි

ඉස්ස ඉස්සෙල්ලාම computer ගත්ත දවස අද වගේ මතකයි.එදා උදේ ඉදන් තාත්තා එක්ක හැමතැනම ගියා computer බලන්න.ඇවිදලා ඇවිදලා අන්තිමේදී එකක් ගත්තා.ගත්තට ඉතින් ඕකෙන් වැඩ කරන්න එහෙම මහා ගොඩක් දන්නේ නෑ.දන්නේ නෑ කියන්නේ ලයිට් එක පත්තු වෙන්න වයර් ටික අමුණ ගන්නවත් බෑ.හරි ඉතින් කොහොම කොහොමහරි අමුණලා ඔන්න දැන් වැඩේ හරි.ඉතින් ඊටපස්සේ එක පාරටම මොනිටරේ ඔන් වුණු ගමන් ඉතින් මාර සතුටුයි.ඒ ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ.ඊටපස්සේ එකපාරටම කළු පාට තිරේක කොළ, නිල්, රතු, කහ කොටු හතරක් තියනවා.ඊට යටින් නිල් පාට ඉරක් දිගටම යනවා.මුලින්ම කරන්න හැදුවේ ඉරි කියක් යනවද බලන එක.මෙන්න එක සැරේම ලා නිල් පාට තිරයක් ඇවිත් මොකද්ද නමක් තියනවා පින්තුරෙකුත් එක්ක.පින්තුරේ චෙස් බෝඩ් එකක් තියෙන්නේ.ඉතින් මවුස් එක එහා මෙහා කරලා ඇතුලට ගියා කියමුකෝ.අමුතු සද්දයක් එක්ක ඇතුලට ගියාම තමයි දැක්කේ නිල් පාට අහසක් යටින් තියන කොළ පාට පිට්ටනියක්.ඉස්සරවෙලාම computer එකක් ඔන් කරාම දැක්කේ මේ රූපේ.මම වගේ මිලියන ගානක් මේ රූපේ දකින්නැති.ඊටපස්සේ කරේ ඉතින් අරක මේක ඔබ ඔබ බැලුව එක තමයි.අරක මේක ඔබලා ඔබලා පින්තුරේ මාරු කරන තැන හොයාගෙන බැලුවාම, එක එක ජාතියේ පින්තුර ගොඩක් තියනවා.දැන් වගේ ඒ දවස් වල බැලුව බැලුව තැන බිත්ති පත්තර තිබ්බේ නෑ.බිත්ති පත්තර කියන්නේ ඔය wallpaper කියන එකනේ.ඉතින් මේකේ තිබ්බ ටිකේ සෑහෙන වටිනාකමක් තිබ්බ.කොහොම කොහොමහරි ටික දවසකට පස්සේ යාලුවන්ගෙන් එහෙම ඉල්ලගෙන සොප්වෙයා ටිකක්, සින්දු ටිකක්, ෆිල්ම් ටිකක් එහෙම ගෙනැත් දාගත්තා.මෙන්න ටික දවසකින් වැඩ කර කර ඉන්නකොට එනවා මොකද්ද එකක් error report කියලා.ඒ දවස් වල දන්නේ නෑනේ ඉතින් ඔව්වා.ඕන එකක් උනාවේ කියලා don't send දුන්න ගමන් ඒක නැති වුණා.ඒක ඉතින් ඊට වැඩිය ප්‍රශ්නයක් දැන්.ඇයි ඉතින් මෙලෝ දෙයක් දන්නේ නෑනේ මේක ගැන.ඊටත් වැඩිය නිතරම එනවා.ආයෙත් පාරක් ඒක වැටෙනකන් ඉදලා send error report දුන්නා.මෙන්න එක පාරටම තව මොකක්ද එකක් ආවා.එතනත් error කියලා තියෙන්නේ.පස්සේ තමයි දැනගත්තේ ඒකට අන්තර් ජංජාලේ ඕන කියලා.ඒ දවස් වල එහෙම එකක් තිබ්බේ කැෆේ වලනේ ඉතින්.කොහොමින් කොහොම හරි ඔන්න ඔහොම තමයි පරිගණක ලෝකෙට මුලින්ම අඩිය තිබ්බේ.ඔය දාලා තිබ්බ ඕ-එස් කියන එකේ අයිතිකාරයෝ microsoft කියලා කට්ටියක් කියලා නම් දැනගෙන හිටියා කලින් ඉදලා.හොදේ.... ඉතින් දැන් ඉඩමේ අයිතිකාරයෝ ගහ කපන්න තමයි හදන්නේ කියලා තමයි ආරංචි.මොනවා උනත් මේ හැමදේකටම අත්පොත් තිබ්බේ එතනින් නිසා දුකක් නැත්තේම නැහැ.අපිට ඉතින් කරන්න දෙයක් නැහැ, ඉඩමේ අයිතිකාරයෝ තමයි තීරණය කරන්නේ ගහ කපනවද නැද්ද කියලා.කොහොම උනත් හැමදේකම ආරම්භය අවසානයක් කියලා හිත හදාගන්න පුළුවන් උනත් කාලයක් ළඟ තිබ්බ දෙයක් ගැන පොඩි කැක්කුමක් හරි තියවනේ, මේක මන් ලඟත් තිබ්බනේ කියලා .කොහොම උනත් ලොකු කාලයක් පුරා මුළු ලෝකෙම කතා කරපු අකුරු දෙකට සමුදෙන්නයි මේ සුදානම.......

ඇහුණු හැටියේම මතකෙට එන
login සද්දේ එක්ක
කොළ පිට්ටනියේ නිල් අහස තිබුණු
අවුලක් තිබුනේ නැතත්
නිතරම error කිය කිය කිව්ව
කොළ, නිල්, කහ, රතු පාට
කොටු හතරෙයි අකුරු දෙකෙයි
කතන්දරය සැමදා සිහි කරමි
කාලයක් පුරාවට ගොඩනැගුනු
ඒ මිතුදමට, ලබා දුන් සේවයට
ස්තුතියි...... XP 








Tuesday, April 15, 2014

අරුමය ද මෙය



වෙල් එළියේ දුව පැනපු
ඇළ දොලේ කල් ගෙවපු
ඒ දිවිය නිමාවී
අතරමං මගේ සිත
දුවයි දැන් සැම තැනම
ගොඩනැගිලි ගොඩක් මැද ...

විහිළුවෙන් කල් ගෙවපු
සිනා මල් මුව රැඳුණු
නෑ සියන් මුණ ගැසුණු
මතකයන් පමණි මට
ඉතුරු වී ඇත්තේ අද ...

කුඩා කල ගෙවූ ඒ මිහිරි කල
දැන් නිමයි සදහටම
නගරයක් වෙලා ඇත
මගේ මුළු ගමම අද
ගොඩනැගිලි ගොඩක් ඇත
එදා තිබු සතුට නැත
මෙයයි පෙරළිය ගමේ
මගේ සිත රිද්දවන ...

ගම්මානේ දැනුණු ඒ
මිහිරි සුවඳයි හැඩයි
නැහැනේ අද දකින්නට
තුරු වදුලේ තුරු අතර
මිහිරි ගී අහන්නට
කෙනෙක් සිටියත් බලන්
තුරු නැතිව ගී ඇසෙනු
කෙලෙසකද කියනු මැන ....

කල් ගියද මේ ලෙසින්
දිවිය අද අප ගෙවන
කුමක්දැයි නොවැටහේ
සිර වෙලා එකම තැන
නමුත් මේ ලෝකයම
වෙනස් කල අමුතු දේ
එයයි ටෙක්නොලොජි එක
නොනැවතී යයි පෙරට
සක්වළම පරයමින් ...

Monday, April 14, 2014

අලුත් අවුරුදු ඇවිත්



සිව් මසක් ගෙවී ගොස්
අලුත් අවුරුදු ඇවිත්
අවට මේ හැම තැනම
සිරියාව පැතිර ගිය
සතුට හැම මුව රැඳුණු
එකමුතුව හද පිරුණු
කාලයයි මේ.....

කොහෝ හඬ සිව් දෙසින්
ඇසෙන විට දෙසවනට
රබන් හඬ රජ කරයි
නොදෙවනිව ඒ හඬට
දකින්නට නෑ සියන්
යන්නටයි සිතන්නේ
මෙයයි අවුරුදු සිරිය
ගම පුරා පැතිර ගිය....

නැකතකට සියලු දේ
රට පුරා සියලු දෙන
එක මොහොතේ සිදුකරන
ඒ අසිරිමත් කාලයයි
මේ අලුත් අවුරුද්ද......

Sunday, April 13, 2014

සිතක මහිම


නොදනිමි මා මෙය 
සතුටක්ද දුකක්ද කියා 
නමුදු කල් ගෙවමි 
ජීවිතය මෙය නිසා 
කලක් තිබු බොහෝ දේ 
එකින් එක නැතිව යන 
මේ පුදුම ලෝකයේ 
දිවි ගෙවමි තවත් මම 
කරන්නට දෙයක් නැත 
ඇත්තේ මට සිතන්නට 
මෙයම වේ ජීවිතය 
සියල්ලන් පතන....

Friday, April 11, 2014

අම්මා


මා තනිවුණු විට
ළගට විත් තනි රැක්ක
ඇයි මොකද මේ කියා මා
සනසන්න වෙර දැරුව
මගේ අම්මේ නුඹ මගේ
මව වෙන්න මේ සසරේ
යලි උපන් හැමදාම....

මගේ කුස පුරවන්න
කුසගින්නේ හිටිය ඔබ
මගේ ලොව දිනවන්න
ඔබේ ලොව දුන්න ඔබ
කරන මේ හැමදේම
මා මතකේ රැඳී ඇත
මගේ දිවියේ හැමදාම...

වැරදි දේ කරන විට
හරි මගට යොමු කෙරුව
අසනීප වුණු විටදී
මගේ ළග රැඳුණු ඔබ
මා වෙනුවෙන් කරන
මේ අනගි මෙහෙවරම
ඇති අම්මේ මතු සසරේ
බුදු වෙන්න...

අහිමි ආදරය


අහම්බෙන් මුණ ගැසුණු
ඇස් වලින් කතා කල
සිහින කුමරියේ නුඹේ
හද ළඟ ඉන්නට මටත්
ඉඩක් ඇතිද ඔබ
වෙනකෙකු සතු වුවත්..

ගතකල සොඳුරු හෝරාවන්
අමතක කල නොහැක
කිසි දිනක දිවි තුරා
නොදනිමි ඔබ කෙලෙසද
අත්හැර දැමුවේ මෙලෙසින්
ඔබ මැවූ සිහින ලෝකයම...

නොයමි දුර ඔබෙන් ඈතට
රැදෙමි නුඹ අසලම තවත්
එකඳු වරක් වත් නුඹ මගේ
කරගන්න තුරුළු කර
මා හදේ උණුහුමට...

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)


කාලයේ අරුමය හා තාක්ෂණයේ සිරකරුවෙකු වීම


බ්ලොග් එක පටන් අරන් දැන් මාස 3ක් වෙනවා මම කිසිම පොස්ට් එකක් දාලා නැහැ.එත් ඒක ගැන නෙමෙයි මේ කියන්න හදන්නේ.මගේ අඩුපාඩුවකින්ම ලිපියක් කියන්න මාර්ගයක් හොයාගන්නයි මේ හදන්නේ.කාලය යන්නේ හරියට ස්ටේෂන් එකක නවත්තන්නේ නැතුව යන ශිග්‍රගාමී දුම්රියක් වගේ කියලයි මට හිතෙන්නේ.ඇත්තටම හිතලා බැලුවොත් දැන් මේ අවුරුද්දේ මාස 4ක් ඉවර වෙන්න ලගයි.හෙට අනිද්දා අවුරුදු, ඊටපස්සේ වෙසක්, පොසොන් ඇවිල්ලා ඊටපස්සේ නිවාඩුවක් එනවා.ඉතින් කාලය මේ විදියට ගෙවිලා යද්දී අපි අපේ ජිවිත වෙනුවෙන් කරගන්න දේවල් තමයි වටින්නේ.මොකද කවදා හරි ඉතුරු වෙන්නේ ඒ දේවල් විතරක් නිසා.අපි අනාගතේ ගැන හිතලා දෙයක් කරනවා නම් එකයි වටින්නේ.
කාලය රන් හා සමානය.
මෙහෙම කිව්වට අද රත්තරන් කොතනද, කාලය කොතනද තියෙන්නේ කියලා නිකමට හිතලා බැලුවම තේරෙනවනේ.මේ කියලා තියන එක කීප විදියකට දකින්න පුළුවන්.දවස හොදට කළමනාකරණය කරගන්න කෙනෙක් මේක ගැන ගොඩක් හිතනවා, බිස්නස් කරන අය, office වල වැඩ කරන අය එහෙම.කිසි වැඩක් නොකර නිකන්ම ඉන්න කෙනෙක්ට නම් මේකේ කිසි වටිනාකමක් නැතුව ඇති.මොකද ඉතින් කරන්න කියලා දෙයක් නැහැනේ.කරත් තේරුමක් නැති දෙයක් තමයි කරන්නේ.ඉතින් කාලය කොහොමද පාලනය කරන්නේ ? ඇත්තටම කාලය කළමනාකරණය කරගන්න ඕනද ?

මේවා ඇත්තටම මේ සමාජයේ තියන ප්‍රශ්න.මම මේ දේවල් වලට උත්තර පුරවන්න නම් නෙමෙයි මේ සූදානම.සරලව ගත්තොත් දවස ගෙවෙන්නේ උදේ නැගිටිනවා, රස්සාවට හරි ඉගනගන්න හරි යනවා, ගෙදර එනවා, කනවා, බොනවා නිදියගන්නවා.ආයෙත් මේ රවුමම තමයි.ඇයි අපි අර්ථවත් දේවල්, වටිනාකමක් ඇති දෙයක් කරන්න හදන්නේ නැත්තේ.ඇයි අපි මේ තරම් කාර්යබහුල වෙලා තියෙන්නේ.ඇත්තටම ඒක අපේ අඩුපාඩුවක්ද? මට හිතෙන විදියට ඒකට කාටවත් වගකීමක් ගන්න බැහැ.අද ලෝකය යන විදිය තමයි මේ.සේරම දේවල් එක්ක ගත කරන ජීවිතය කොයි වගේ වෙන්න ඕනද කියන එකවත් අපිට තීරණය කරගන්න බැරි වෙලා තියනවා.කාලය ගෙවෙන්න ගෙවෙන්න වෙන්නේ තව තවත් අපේ ජිවිත සංකීර්ණ වෙන එක විතරයි.අලුත් උපකරණ, තාක්ෂණික දේවල් කොච්චර තිබ්බත් ඒවා වලින් කොච්චර කාලය ඉතුරු වෙනවා කිව්වත් ඇත්තටම වෙලා තියෙන්නේ අපි ඒවා වල හිරකාරයෝ වෙලා ඉන්න එක විතරයි.අලුතෙන් දේවල් එනවා, අපි ඒවා පස්සේ එලවනවා.ඒවා පරිහරණය කරනවා.තව අලුත් එකක් එනවා.එකටත් අර කලින් විදියම තමයි.

අද වෙනකොට තාක්ෂණය කියන දේ ගොඩක් දුර ගිහින්.මේක තවත් දුර යයි.දවසින් දවස වෙන්නේ අලුත් දේවල් නිර්මාණය වෙන එක.නමුත් අපිව පාලනය කරන්නේ මේ උපාංග, මෙවලම්.ඔබ වැඩ කරන්නේ ඒ මෙවලම් කැමති විදියට.ඒ කාලේ ඉතුරු කරගන්න, කළමනාකරණය කරන්න.නමුත් අවසානය තව දුරයි.ඒ නිසාවෙන්ම නොදන්නා අවසානයක තාක්ෂණික සිරකරුවෙක් නොවීම සිතන්නට කාලයයි මේ....

Wednesday, March 12, 2014

සරසවි බිම..


විහිළුවෙන් සිනහවෙන් 
ගෙවූ ඒ ජීවිතය
තවත් මට අයිති නැත 
මුවග සිනහවක් 
නැතිව හිත් ගල් ගැසුණු 
කියන දේ කරන්නට 
පමණක්ම වෙන් කෙරුණු 
මා වැනිම බොහො දෙනෙක් 
මේ බිමේ සිටිනු ඇත 
සතුටක්ද දුකක්ද කියා 
නොදැනුනද මා සිතට 
නිතිපතා පිය නගමි 
මගේ සරසවි බිමට
අද මෙලෙස හිඳින්නට 
සිදු වුවත් අප සැමට  
හීන මැව් බකට් එක 
ලැබෙන දින නොදනිතත් 
බලා සිටිමි ලැබෙන තුරු...

Saturday, January 11, 2014

ඇරඹුමයි මේ....

කියන්නට මේ වෙලාවේ වැඩි දෙයක් නැත.. හිතලා හිතලා මේක ලියන්න ගත්තේ..
පුළුවන් වෙලාවට කම්මැලිකම නැති කරගන්න මොකක් හරි දෙයක් කුරුටු ගාන්නයි කල්පනාව...

අරඹන්නට පරිච්ඡේදයක්...
ලියන්නට කතාවක්...
ලැබුණු විට වෙලාවක්...