Saturday, June 10, 2017

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...

වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..

රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...

Sunday, June 4, 2017

සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි. බිඳී ඇහැරෙන රිදුම් අගුළු දමන්නට සදාතනික ප්‍රේමයට හැකි වුවද හුදකලාව හිත අයිතිකර ගන්නේ ඇසිල්ලකිනි. අතරමං වූ ප්‍රේමය වනාහී මතක සැමරුමකි. එක අතකට දිනෙන් දින අළුත් වෙයි. තවත් අතකින් අගුළු ලා ගනී. හුදකලාව කතා කරන්නේ මේ අතරමං වූ ප්‍රේමයටය. හදවත සීරුවට හූරන්නට දෙන අවසරයක් වැනිය. රිදෙන බව දැන දැනත් පෙම් කරන ඇසිල්ලක් පෙම්වත් වුන හිතක කොනක හෝ රැඳී ඇත. නොපිපි කුසුමක සුවඳ මෙන් දැනී නොදැනෙන මේ ඇසිල්ල පණ දෙන්නේ අතරමං වූ ප්‍රේමයටය. තනි වූ ප්‍රේමය පිරිසිඳුය. විශ්වාසවන්තය. වෙනස් වීමක් නොමැත. අඩු වීමක් නොමැත. මගේම පමණකි. ආදරය අකුරු හතරක් පමණක්ම නොවන බව කියාදෙන්නේ ළඟ රැඳී ගෙවෙන ඇසිල්ල නොව තනි වූ ප්‍රේමයයි. හැම පෙම් හිතකම කොහේ හෝ ප්‍රේමය රැඳී ඇත. හැම වෙන්වීමක්ම පළමු හමුවීම ඒ රැඳුනු ප්‍රේමය අසලින්ම තදින් ලියා තබන්නේ මතක පොත දිග හැරෙන්නේ එතැනින් නිසාවෙනි. හුදකලාව කියවන්නේ මෙ මතක පොතයි. ලියවුනු හැම ඇසිල්ලක්ම වඩ වඩා දැනේනනේ වෙන්වීමකට පසුය. හුදකලාව දුක සතුට අතරින් සුන්දර මතක කියවන්නේ අමුතුම රටාවකටය. දුටු මුල්ම නිමේෂයට, පළමු හාදුවට හුදකලාව රහසේම පෙම් බඳිනු ඇත. අත් අල්ලාගෙන ගිය මාවතක් ගානේම ඇසිල්ලකින් කරක් ගසයි. වේදනාව අළුතින් ලියයි. හිත පෙම්වත් කරන්නේ වේදනාවයි. මග දිගට ගහක් මලක් ගානේම වේදනාව සිත්තම් කරන්නේ හුදකලාවයි. මම ඒ සිත්තමට පෙම් කරන්නට ගත්තෙමි. සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

Friday, June 2, 2017

ලියා ඇති සත්තමයි


බිදී විසුරුණු
තවත් රිදුමක
හීනි අගිස්සක
ලියා ඇති ආදරේ
සත්තමයි
ඇස් ගැටෙන ගැටෙන
හැම තැනක
නවතින එක නෙමෙයි
පපුව මැද රිදෙන එක
විතරක්ම වෙයි දවසක
කියලා ... 

Tuesday, May 30, 2017

ලියා ඇති විරහව බිඳක්..

අහස හඬවන වැස්සකත්..
පොළොව රත්කළ අව්වකත්..
අහිමි කළ පෙම් හදවතත්.. 
කියයි ලොව ඇති ඉරණමක්.. 

හදේ ඇවිලෙන මතකයත්.. 
යලි නොඑන තනි ප්‍රේමයත්.. 
චණ්ඩ ගංදිය රළකවත්.. 
නොමැති අමුතුම තාලයක්.. 

හදේ අයිනක කොනකවත්.. 
යලි උනන රළු පෙමකවත්.. 
ගතම සනහන සුළඟකත්.. 
ගලන බව පවසයි සිතක්... 

රැයට සසිලන සඳකවත්.. 
සැලෙන රුක්ගොමු පතකවත‍්.. 
රිදෙන පාවෙන පැතුමකත්.. 
ලියා ඇති විරහව බිඳක්..


Monday, May 29, 2017

ධනුවාගේ මිනි #16

නොහිතාම ඇවිත්
නතර වෙන...
නොදැනීම දැනී
තනි කරන...
රහසේම හදේ
පද ලියන...
වේදනාවකි ආදරය
දවන හද...

Saturday, May 27, 2017

ධනුවාගේ මිනි #15

වැහි බිඳුවලට
හෙමින් සේදෙන
වතුසුද්ද මලක්
වුනා නම්
මගෙ හිතත්...
සෝදනවා මම
නුඹෙ මතක
එකක් ගානෙම...

Thursday, May 25, 2017

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹව
හමුවෙන්න ඇති මෙහෙම
හිමි නැතත් නුඹව මට
කරගන්න මගෙ විතරක්ම
ලැබීමම වෙන්න ඇති
හමුවෙලා වෙන්වෙන්න
හිත කොනක කදුළු කැටි
වෙරදරයි සනසන්න
සැනසුමක් මොටද තව
බිම වැටුණු හදවතට.. 

Tuesday, May 23, 2017

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිව
ගුරුපාර තියනවා
වතුසුද්ද මල් යාය
තවම මල් මවනවා
නුඹ මගේ නොවන බව
හැම විටම දැනෙනවා
නෙතට කඳුලක් ගෙනෙන
රිදුම යලි උනනවා
මම තනිව ගුරුපාරෙ
කොනක තනි රකිනවා
වෙන හිතක් නොලබන්න
නුඹෙ පැතුම දැනෙනවා
පැතූ නුඹ දුර ගිහින්
මම තවම තැවෙනවා


Sunday, May 21, 2017

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්
අපි අපේ නොවන බව...
පෙම් බැඳුනු හිනාව
තාමත් නුඹෙයි
හිත මුමුණනවා අදටත්...
නැගිටපන් නින්දෙන්
බිඳුනු හද කෙලවරේ
එක් තැනක හෙමින්
කොඳුරයි ඕනවට එපාවට...
හීනයක් නම් මෙලහකට
අවදි කරවලා මම නුඹව...


Saturday, May 20, 2017

නුඹ දවාගිය...

වෙලාවට වැහි අඳුර ගලන 
තුරුල් වෙලා ඉස්සර 
හිටි ඒ ඇසිල්ල
වුනා මට කල්පයක්
හතිවැටිලා අතරමංවෙන්න
නුඹේ හිත ගාවම...
තාමත් නුඹෙ සුවඳ
හැම මොහොතකම
හිත පුරා ගලනබව
දන්නවද... නුඹ දන්නෙවත්
නැතිව ඇති මේ හිත
මහ හුඟක් පෙම් බඳින බව
නුඹ දවාගිය අඳුරු කුටියක
තනිව හිඳ...