පාසල් පටුමග දිගට
මුර කරන තුරු පෙලට
ඇසුණු ඒ පෙම් කවිය
ඇසෙනු ඇත අදද මට
ඇහැළ මල් වියන මත
පටලමින් අතින් අත
පිය නැගුව ඒ දිනය
දැනෙනු ඇත අදද මට
එක්ව එක මගක් ගිය
දිනය අද අවසන්ව
හුදකලා වෙලා මම
අප එදා ගිය මගම...
නුඹේ ඒ සරසවිය
ඉඩ නොදෙනු ඇත නුඹට
ලං වෙන්න මට නුඹට
ඔබ නැතත් පුරුද්දට
පෝය දින පටුමගට
එමි ඇවිද තනි වෙන්න
නුඹේ සිහින මතක වල...
යනෙන විට නුඹ සමග
පෙර දිනේ වීදි වල
ලැබුණු ඒ ගරු නාම
මගේද නැත්නම් ඔබෙද
කියා නොසිතුවෙමි මම
රතු පලස් එළෙන විට
දැනුනි ආඩම්බරය
තව වරක් නොසිතාම
රැගෙන යමි නුඹව මම
යහළු මිතුරන් හටද
පවසමින් මා ගැනම
නුඹ ලැබූ ඒ සතුට
දනිමි නුඹ ලෙස මමද
රැක බලා ගත් විදිය
සිහි කරමි නුඹ මාව
ඒ ලෙසට මාද නුඹ
බලා ගත්තෙමි නිතර...
යනෙන මග හැම විටම...
නමුදු අද අසරණව
ඉස්තාලේ දොර අසල
තනිවෙලා මම මෙලෙස
සවි බලය ඇත තවම
නමුත් නොදනිමි කරුණ
නුඹ ගෙනා සිව් සකට
හැකිද මා වැනි වෙන්න...