Friday, August 1, 2014
ගම්මානේ - 2
මොනවද අයියණ්ඩි ඇවිදින් කියවන්නේ
මම තව බහ නොදුන් බව නැහැ වාගේ දන්නේ
අප්පච්චිත් තවම අවසර දුන් නැහැනේ
ඔහොම බනින්නට අවසර තව නැහැනේ
නුඹ තව නොදත් දේ තියනවා වාගේ
මාමා කැමැත්තත් දීලා අහවරනේ
තනිපංගලමේ මේ විදියට කියවන්නේ
නම කැත වෙනවා දන්නේ නැහැ වාගේ
සිදුවූ සියල්ලම දුටු සුදු බණ්ඩාර
කිසිවක් කියාගන්නට බැරි ආකාර
බැල්මක් හෙලා හරි දුක්පත්කාර
ඇසුවා නුඹ ඇයිද මේ හැටි හයිකාර
නඟාව ගන්නවා එන මහ කරකාරේ
වැඩ කටයුතු එහෙම ඇත්තේ මගේ බාරේ
ආයෙත් මෙහෙම මුණ නොගැහෙන්නට පාරේ
නවතන්නට ඕන මේ හිතවත්කම් පාරේ
කිසිවක් නොකී මේ සුදු බණ්ඩාර
ගියා ගොවිපැලට මැද්දෙන් මහ නියර
සිරිලුයි නඟයි හැරුනා යන්නට ගෙදර
පාලුයි මේ වෙද්දී මහ නුග ළඟ පාර
ගොම්මන් වැටෙද්දී මේ දෙන්නා ගෙදර
පැත්තට එද්දී ඇගේ අම්මා නිතර
මග බලමින් සිටියා වත්තේ ගුරු පාර
විදානෙ ඉන්නවා වත්තේ සරුසාර
මාමා මොකද මේ ගොම්මනේ මැද වත්තේ
යන්ටකෝ වලව්වට අපි මේ එනවානේ
නැන්දත් ඇවිත් ඇයි මේ කලබල වෙන්නේ
මම ඉන්නවනේ මේ හැම දේවල් මත්තේ
ඇයි උඹ මුණ එල්ලාගෙන ඉන්නේ
අයියත් එක්ක කතා බහක් නැහැ වගේනේ
එන්න පුතේ මේ හරියෙන් ඉඳගන්නේ
වැඩ කටයුතු එහෙම කොහොමද පවසන්නේ
ඒ හැටි වැඩක් තිබුනේ නැහැ නොවැ නැන්දේ
ගල් කන්දට ගියා මම බලන්නට එහෙ යුද්දේ
ගල් හෙම ගෙනිහින්නේ හොරු සෑහෙන ගල් කන්දේ
කම්බි අදින්නට වෙනවා වතු මායිම මැද්දේ
දුවේ දන්නවනේ අයියා මෙහෙ එන්න
හේතුව නුඹව කරකාරෙට අරගන්න
දැන් හරි වයස නුඹ දීගෙක යන්න
අම්මයි මමයි කැමතියි මේකට ඔන්න
මේ දරුවට ඉතින් මොනවායින් අඩුවක්ද
සතුටින් දෙන්නා එක්ක ඉන්නට බැරි මොකද
අප්පච්චියි මායි මහ කාලයක් තව ඉන්නවද
අකමැති වෙන්න හේතුවක් හෙම නැහැ නේද
එහෙනම් තවත් දෑ අවුරුද්දක් ඕනේ
මගුලක් තකහනියේ අරගන්නත් බෑනේ
කරගන්නට වැඩත් ඔහෙලට හෙම ඇතිනේ
එතකල් සුදු නැන්දලාගේ ගෙදරට මම යන්නේ
මාමගේ කැමැත්තට ඉඩ දෙන්නට බැරිද
ඔය විදියට මුරණ්ඩු වෙන ඒක හරිද
ඔය පැතිවල ගිහින් ඉන්නට පුලුවන්ද
නැන්දත් නගාලට පොඩ්ඩක් කියනවද
අප්පච්චිට හොඳයි දැන් බොහෝ දුරට
යන්නට තිබෙන සති දෙකකට එක වරට
අම්මත් එක්ක යන්නට මහ රෝහලට
එනවා කලින් දින හැම වරකම ගමට
දුවත් කියන හින්දා තව ටික දවසක්
බලලා කතා කරගමු එක තීරණයක්
මාමත් ගෙදර ඇවිදින් නැහැ වැඩි දවසක්
උන්දැට හොඳ නැහැනේ වැඩිපුර කතා බහක්
පොඩි කාලෙත් මම හිටියේ එහෙ නොවේද
ගෙදර පැත්තේ ඇවිත් යන්න බැරි මොකද
අම්මා අප්පච්චි පරිස්සමට ඉන්නවද
ගෙනියන්නට තියන දේවල් හෙම දෙනවාද
එහෙනම් නැන්දේ අපි ඒ විදියට කරමු
අපෙ අම්මටත් මේ ගැන කියලා තියමු
හොඳ විදියට සිදු වෙනවා බව සිතමු
එහෙනම් දෑ අවුරුද්දකින් මංගල්ලය කරමු
මතු සම්බන්ධයි...
Sunday, July 13, 2014
නුඹ මැවූ සිරියාව, සැණකෙළියක්ම විය ...
වසත් කල හැඩ කෙරුව
සේද යහනා මැවූ
මිහිකතට පැහැය දුන්
සිරිය නුඹම විය
සරසවියට...
ලා රෝස මල් ඉහිණු
පෙම් කතා නෙත් හරුණු
සිතට සෙවණක් ගෙනා
මදනලක්ම විය අපට...
ගුම් නදින් සැනහෙනා
වා තාලය නුඹ නොමැති
අඩුව කෙලෙසක නම්
පුරවන්නද ..
ආදරණීය රොබරෝසිය,
නුඹ මැවූ සිරියාව
සැණකෙළියක්ම විය
පෙම් සිහින මවන්නට
සුවඳ සොයනා පෙමට...
පින්තූරය මුහුණුපොතෙනි.
සේද යහනා මැවූ
මිහිකතට පැහැය දුන්
සිරිය නුඹම විය
සරසවියට...
ලා රෝස මල් ඉහිණු
පෙම් කතා නෙත් හරුණු
සිතට සෙවණක් ගෙනා
මදනලක්ම විය අපට...
ගුම් නදින් සැනහෙනා
වා තාලය නුඹ නොමැති
අඩුව කෙලෙසක නම්
පුරවන්නද ..
ආදරණීය රොබරෝසිය,
නුඹ මැවූ සිරියාව
සැණකෙළියක්ම විය
පෙම් සිහින මවන්නට
සුවඳ සොයනා පෙමට...
පින්තූරය මුහුණුපොතෙනි.
Tuesday, July 1, 2014
නිදි නැති රැයේ මැදියමට
නිදි නැති රැයේ මැදියමට
ලොව නිවන සඳ මඬල
මතකයිද නුඹට
වරෙක හිනැහුණු විදිය
තරු වියන පිරුණු විට,
නමුදු අද අමාවක
තරු වියන එලෙසමය
නුඹ නොමැත දකින්නට
අහස් කුස සිව් දිගට
වරෙක එළියක් වුවද
අඳුර අත ලඟම බව
නොසිතුවෙමි මම
නමුත් තව රැඳෙමි මම
මුළු ලොවක් දිනන්නට ...
පින්තුරය අන්තර්ජාලයෙනි.
Monday, June 23, 2014
ඔබ නැතත් පුරුද්දට.....
පාසල් පටුමග දිගට
මුර කරන තුරු පෙලට
ඇසුණු ඒ පෙම් කවිය
ඇසෙනු ඇත අදද මට
ඇහැළ මල් වියන මත
පටලමින් අතින් අත
පිය නැගුව ඒ දිනය
දැනෙනු ඇත අදද මට
එක්ව එක මගක් ගිය
දිනය අද අවසන්ව
හුදකලා වෙලා මම
අප එදා ගිය මගම...
නුඹේ ඒ සරසවිය
ඉඩ නොදෙනු ඇත නුඹට
ලං වෙන්න මට නුඹට
ඔබ නැතත් පුරුද්දට
පෝය දින පටුමගට
එමි ඇවිද තනි වෙන්න
නුඹේ සිහින මතක වල...
Tuesday, June 3, 2014
හැකිද මා වැනි වෙන්න...
යනෙන විට නුඹ සමග
පෙර දිනේ වීදි වල
ලැබුණු ඒ ගරු නාම
මගේද නැත්නම් ඔබෙද
කියා නොසිතුවෙමි මම
රතු පලස් එළෙන විට
දැනුනි ආඩම්බරය
තව වරක් නොසිතාම
රැගෙන යමි නුඹව මම
යහළු මිතුරන් හටද
පවසමින් මා ගැනම
නුඹ ලැබූ ඒ සතුට
දනිමි නුඹ ලෙස මමද
රැක බලා ගත් විදිය
සිහි කරමි නුඹ මාව
ඒ ලෙසට මාද නුඹ
බලා ගත්තෙමි නිතර...
යනෙන මග හැම විටම...
නමුදු අද අසරණව
ඉස්තාලේ දොර අසල
තනිවෙලා මම මෙලෙස
සවි බලය ඇත තවම
නමුත් නොදනිමි කරුණ
නුඹ ගෙනා සිව් සකට
හැකිද මා වැනි වෙන්න...
පෙර දිනේ වීදි වල
ලැබුණු ඒ ගරු නාම
මගේද නැත්නම් ඔබෙද
කියා නොසිතුවෙමි මම
රතු පලස් එළෙන විට
දැනුනි ආඩම්බරය
තව වරක් නොසිතාම
රැගෙන යමි නුඹව මම
යහළු මිතුරන් හටද
පවසමින් මා ගැනම
නුඹ ලැබූ ඒ සතුට
දනිමි නුඹ ලෙස මමද
රැක බලා ගත් විදිය
සිහි කරමි නුඹ මාව
ඒ ලෙසට මාද නුඹ
බලා ගත්තෙමි නිතර...
යනෙන මග හැම විටම...
නමුදු අද අසරණව
ඉස්තාලේ දොර අසල
තනිවෙලා මම මෙලෙස
සවි බලය ඇත තවම
නමුත් නොදනිමි කරුණ
නුඹ ගෙනා සිව් සකට
හැකිද මා වැනි වෙන්න...
Thursday, May 15, 2014
සම්බුදු අසිරිය
සුදු නෙළුමක් සොඬින් ගත් ඒ මහිමයට
ගජ සෙන් කුලේ සුදු ඇතුගේ ඇරයුමට
පෙන්වා සිහින මහමායා දේවියට
මහ බෝසතුන් වැඩියා අප පින් බිමට
ලංවෙන විටදී සිය දරුවා ලැබෙන දින
සිය මව් දකින්නට මහමායාව යන
පෙරහැර ගියා පසුකර ලුම්බිණි උයන
නියමිත උනා මහ බෝ උපදිනා තැන
මුළු ලෝකයම සැනසුණු ඒ පින් මොහොතේ
බෝසත් සිංහ නද ඇසුනා සතර අතේ
බල විස්කම් දෙමින් පෙන්වා බලය සිතේ
පිපුනා සත් නෙලුම් ලුම්බිණි උයන් පෙතේ
බුදු බව පතා සිදුහත් කුමරුගෙ පෙරුම
ඉටුවන දිනය වළකනවා යන සිතුම
සුදොවුන් සිතට නිරතුරුවම ඇතිවීම
පෙන්වයි රජුගෙ සිත පුතු හට තිබූ පෙම
නොහැකිය වලකන්න ඒ පින්බර මොහොත
ලොව සනසන්න කුමරුන් ලොව දිනනු ඇත
දෝතින් රැගත් ගුණ පින් බල මහිමයට
වෙන සක්විති පදවි සිදුහත් හට කුමට
දුටුවා පෙරනිමිති සතරක් එකිනෙහිම
සිතුණා හැර යන්න රජගෙය එම දිනම
පවසා චන්න හට කුමරුන් ඒ සිතුම
යෙදුනා යන්න මැදුරෙන් පුන් පෝ දිනම
නේරංජනා ගංතෙර නැවතී මොහොතක්
පවසා සිතුම සැකෙවින් දක්වා අරුතක්
ගලවා ආභරණ නොසිතා තව මොහොතක්
කැපුවා කෙස් වැටිය දෝතින් ගෙන කඩුවක්
සිතමින් ලබන්නට මහ බල බුදු පැතුම
කෙරුවා සය වසක් සිරුරට දුක් දීම
අවසන වැටෙද්දී බෝසත් සියොළඟම
මරුවා පටන් ගති තුටු ජය පැන් බීම
වීර්ය ගෙන බුදු සිතට කල ඒ පින් පැතුම
බැහැ වලකන්න කිසිවිට මර සිතුමකට
උපදා බලය මහ බෝසත් යලි සිතට
පිරුවා පාරමී දම් බුදු වන අරමුණෙම
මල් වැහි වැටුණි මුළු ලෝකය සනසන්න
හිරු කැන් දිලුනි පිවිතුරු බව දන්වන්න
මහ රළ පෙලුණි බල මහිමය පෙන්වන්න
බුදු පදවිය ලැබුණි සසරින් මුදවන්න
පින්තුරය අන්තර්ජාලයෙනි.
Tuesday, May 13, 2014
තවත් උදෑසනක්..
අහස් ගැබ අඳුරු වුනු
හිරුට තහනම් උදේ
දුම්රියක් ඇදෙනවා
මහ වැස්ස වැටෙද්දී...
තාර දැමු රළු පාරේ
පවස නිවනා වෙලේ
නැගුනු ඒ මිහිදුමෙන්
සුවඳ දෙයි වා තලේ ...
මුහුදු රළ පෙලින් පෙළ
හැපි හැපී පෙණ බිඳෙන
මුහුදු කුස වැහි බින්දු
වහ වහා ගිල ගනියි....
ගෙවුණු ඒ නිමේෂයේ
සිත දුවයි හැම තැනම
නිතර යන සිත් උයනේ
නතර වෙයි අවසනදී...
පින්තුරය අන්තර්ජාලයෙනි.
Friday, May 9, 2014
නොහැක නොදකින්නට
යනෙන මග සැමතැනම
හමුවනා නුඹේ රුව
සිත ගැටෙනු ඇත නිතර...
කතා කළ, ලඟින් රැඳී
නුඹම නොහදුනන ලෙසින් අද
යන විටදී මගෙන් දුර
නොඑමි විමසන්න සැප දුක
පෙර ලෙසේ....
නුඹේ ඔය රුව මගේ
නෙත ගැටෙන විට නිතර
දුරින් සිට ඔබ දෙස බලා
සැනසුවෙමි සිත....
එකට ගෙවූ නිමේෂයන්
කියයි තනිකම හිතට
නුඹේ නොවෙයි වරද
පමණි මාගේම එය...
මල් පිපුණු වසන්තය
දකින්නට තවත් නැත
මල් නොමැති මල් උයනෙ
සමනලුන් හිඳ කුමට,
හැර වෙන්ව යනු මැනේ
නොඑන්නට කිසි දිනෙක,
මල් පිපෙන උයනකට...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
පින්තුරය අන්තර්ජාලයෙනි.
Monday, May 5, 2014
අපූරු මිනිසෙක් ගැන සටහන් තබමි
මාගේ මතකයේ හැටියට ඒ 2002 වසරයි.පළමුවරට ක්‍රිකට් තරගයක් නැරඹීමට මට හැකිවිය.අයියලා
කවුරුත් නැති නිසාත් තාත්තා ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් නැති නිසාත් කුඩා කල මාහට
අපේ භාෂාවෙන් කියන අයුරින් මැච් එකක් බලන්න චාන්ස් එකක් සෙට් වුනේම නැත.නමුත් ලද
අවස්ථාවෙන් හිතේ හැටියට බලන්න පටන් ගතිමි.මැච් නොබලුවද ඒ දවස්වල සිට අද දක්වා
තිබෙන මැච් පිස්සුව නිසා ක්‍රීඩකයන්ගේ නම් සියල්ලක්ම පාහේ දැනගෙන සිටියෙමි.මේ
අතුරින් කිහිප දෙනෙක් මා ප්‍රියකළ අය අතර විය.මුළු තරගය පුරාවටම මා එක් විශේෂ
පුද්ගලයෙක් දුටුවෙමි.ලද මොහොතින් ඒ ගැන සටහනක් මෙලෙස තබමි.
ඔහු සෙමෙන් එක් අන්තයකින් දිව එද්දී සියලු දෙනාම
ඔල්වරසන් දීමෙහි අඩුවක් නම් කරන්නේ නැත.ඔහුගේ පන්දුවට මුහුණ දෙන්නේද දෙවරක්
තුන්වරක් සිතා බව නම් පැහැදිලි කරුණක් විය.ඔහු පන්දු රැකීමද මනාව කළේය.ඔහුගේ ක්‍රීඩා
දිවියේ කල වික්‍රමයන් ගැන සටහන් නොතබමි.නමුත් ඔහු ගැන ලිවිය යුතුමය.ඔහු නමින් මුත්තයියා මුරලිදරන් ය.නම කිවූ සැනින් මතකය එන
අපූරු මිනිසෙකි.ආදරයට කිවේ මුරලි කියාය.තරග කරන්නට කෑදර වීමක් මා කිසි දිනෙක දැක
නැත.සිනා මුසු මුහුණින් නිරතුරුව සිටි ඔහුට බාධා විශාල ප්‍රමාණයක් එල්ල විය.ඒ
ඔහුගේ විශේෂ හැකියාව නිසාමය.ඔහුට තරග වලින් ඉවත් වී සිටීමටද සිදු විය.පරීක්ෂණ
ගණනාවක්ම පැවැත්විණි.ඔහු කෑගසන්නට ගියේ නැත.ඉල්ලීම් දිනාගැනීමට උපවාස කලේද නැත.ඔහු
වැඩේ කරලා පෙන්වන ජාතියේ අයෙකි.ඔහු මෙවරද එසේ කළේය.ක්‍රිකට් වල උරුමක්කාරයන් යැයි
කියාගන්නා අයවලුන් පරදා අවසානයේ ඔහු ජය ගත්තේය.කොටින්ම කිවතොත් මුළු ක්‍රිකට්
ලෝකයම ඔහුට නොපෙන්වන බියක් දැක්වූ බව නම් ඉඳුරාම පැවසිය හැකිය.ඔහු දමිළ
ජාතිකයෙකි.එවකට ලංකාවේ LTTE ත්‍රස්තවාදය පැවති කාලයයි.නමුත් සිංහලයන් ඔහු සමග
බැඳුනේ ඔහුගේ ගතිගුණ හා හැකියාවන් නිසාවෙනි.
අවසානයේ ක්‍රිකට් ලොව සියලු දෙනා ඔහුව පිළිගත්හ.ඔහු ටෙස්ට් කඩුලු 800 සීමාවද පසු කළේය.නමුත් ඔහු ක්‍රීඩා කලේ නම්බු නාම ගන්නට නොවේ.වාර්තා තමා සතු කරගන්නටද නොවේ.අවසානය ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කලේ පෙර දැනුම්දීමක්ද සහිතවය.ඔහුට කඩුලු ගැනීමේ අවශ්‍යතාවක් තිබුනේ නම් ඔහු කරන්නේ කඩුලු 800 ලබාගත් පසුව ටෙස්ට් තරග වලින් ඉවත් වීමයි.අවසාන තරගය පෙර ඔහු සතුවුයේ කඩුලු 792 කි.ඔහු පැවසුවේ තමාට එය ලැබිය යුතු නම් ලැබෙන බවය.මාගේ විශ්වාසයද එයම වේ.ඔහු මා සිත් ගැනීමට එයද හේතුවකි.වසර 30ක යුද්ධය නිමාවූ පසු මුරලිට විදේශීය නාලිකාවක වැඩසටහනකට ආරාධනා ලැබිණි.නම් ගම් සහිතව විවේචනය මා එතරම් කැමැත්තක් දක්වන දෙයක් නොවේ.එබැවින් ඒ ගැන නොලියමි.මේ වැඩසටහන තුලදී ඔහු ලවා වැරදි ප්‍රකාශයන් ලබාගන්නට නිවේදකයා මහත් වැයමක් ගත්තේය.මුරලි පැවසුවේ අදහස් කීපයකි.ඔහු දමිළ බවත්, යුධ සමයේ 1977 දී ඔහුගේ නිවසද විනාශ වූ බවත් ඔහු මතක් කර දුන්නේය.අවාසනයේදී නිවේදකයාට පැවසුවේ "what jesus said, forgot and forgive and go" කියාය.මුරලි සැබවින්ම ශ්‍රී ලාංකිකයෙකි.ඔහු ජාතිය පාවා දුන්නේ නැත.රට පාවා දුන්නේ නැත.මහත්මයන්ගේ ක්‍රීඩාව මහත්මයෙකු ලෙස කල ඔහු සැබවින්ම විශිෂ්ට චරිතයකි.
ඔහුගේ උපන් දිනය පසුගිය අප්‍රියෙල් 17 වෙනිදාවට යෙදී තිබුණි.මේ සටහන ඒ වෙනුවෙනි.
පින්තුරය අන්තර්ජාලයෙනි.
Thursday, May 1, 2014
දෙව් උයනකි
වෙල් සියකි
නිල් දියකි
පන්සලකි
ගම් ගොඩකි
තුරු පසකි
සිසිල රැකි
පවස මෙකි
නිවිය හැකි
පණ දහසකි
එකම සිතකි
ගුණ කම් රැකි
එක පවුලකි
ගුරු පාරකි
ඉපනැල්ලකි
දොළ පාරකි
දෙව් උයනකි
පින්තූරය අන්තර්ජාලයෙනි.
Subscribe to:
Posts (Atom)










