Blogger Tricks Blogger Tricks

Friday, May 8, 2015

ආතුර වුවන් අතර අනාතුරයකුව



තනි නොවුණු තරුවක් 
නැත අහසේ දකින්නට 
එලිය දෙන විට එකට 
එයයි දිදුලන රහස 
අහසක...
දුකක් නැත 
මන්ද 
හිතවත්කම්, සිනාවන්  
හදවතින්ම නිසා,
නොකර 
වෛරයෙන් ...
නුඹේ ඔය හිතවත්කම
අළු වලින් වැසුණු 
ගිනි පෙනෙල්ලක
දැවටුණු,  
වෛරයක් බව 
දැනෙන්නට 
ගතවුනේ 
නිමේෂයකි ...
මිනිසුන් නොමිනිසුන්
අතර 
හඳුනමි ආදරය
පෙරටත් වඩා 
හොඳින් දැන්...
තුති පුදමි 
දුන් හැම දෙයට 
මන්ද 
වෛර නොකරන නිසා
මිනිසුන්ට ...
සතුට මට,
ආතුර වුවන් 
අතර
අනාතුරයකුව 
සිටීමය ...



Monday, April 20, 2015

සිතේ ඇඳි සිත්තමට..



පාලු හවසක තනිව 
දැනුනු කම්මැලිකමට
සිතේ ඇඳි සිත්තමට 
පාට තවරන්නට  
සිතෙයි මට නිරතුරුව 
මැදියමට යදින 
කළුවර අහස 
නොදෙයි ඉඩක් මට 
පාට ගලපන්නට
බොඳ වෙන්නට පෙර 
සිත්තම සිත් කොනක 
පාලුවට ගුලිවුණු 
අදුරු මුල්ලක රැඳුනු 
මතක යහනක තනිව ...

Tuesday, April 14, 2015

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!


සිතුම් පැතුම් ඉටුවන,
අත මිට සරුවන,
කරදර දුක් අඩුවෙන,
සතුට සිනාව සපිරි,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!


Sunday, April 5, 2015

පුංචි කාලේ අපි



හීන එකතු කර 
පොදි බැඳන් හිත පුරා 
එක එක තාලේ 
පෙරුම් පිරුව
හිත හතර අතේ 
දුවපු ඇවිදපු   
ආදරණීය හුරතල් 
පුංචි කාලයක් 
තිබුනා මටත් ...

හවසට නිවාඩුවට 
වෙලේ දොලේ ඇලේ 
ඇවිදපු දුවපැනපු 
හති වැටෙනකන් 
ගෙදර නාපු 
අහස කතා කරන හැටි 
ඉපනැල්ලේ ඉඳන් 
අහන් හිටපු 
පුංචි කාලයක් 
තිබුනා මටත් ...

අද මේ වගේ 
හිර වෙලා 
ජීවිතය ඒකාකාරී 
වුනත් මම 
තවමත් එදා වගේම 
ආදරෙයි පණ වගේ 
හීන ගොඩක් 
ගෙනල්ලා දුන්නු 
ඒ පුංචි කාලෙට 
සිය දහස් වාරයක් ...


Wednesday, April 1, 2015

තවත් එක් නිමේෂයක..



තත්පර, මිනිත්තු 
පැය, දින වලින් ගැනී 
සති මාස ගෙවී යයි 
නොදැනීම හිතට 
ජීවිතය මැදින් 
නොකියාම හොරෙන්
තවත් එක් නිමේෂයක 
සිත අතරමංව 
හැරෙනු බෑ යලි 
යා යුතුය මග 
දිනන්නට ලොව 
ජීවිත කඩුල්ලෙන් 
පෙනෙන ලොව නොව 
ඇත සැඟව තව 
නොදුටු පැති අප 
ඇසට හසුවන මායිමේ නැති 
සොයා යා යුතුම අපි 
නමුදු කාලය හරස් වෙයි 
මට මෙන්ම නුඹටද 
වෙනසක් නොකරම
නුඹටවත් මටවත්  
සීමා කරයි ජීවිතය 
තව ටිකයි අවසනට
මේ ගෙවන නිමේෂය
සිතෙද්දීත් දුකයි 
තැවෙයි සිත වැලපෙමින් 
සිත යටින්
නිමාවන ඇසිල්ලේදී 
පෙන්වා ලෝකයට 
මුවේ රැඳී සිනා කැන්... 

Saturday, March 28, 2015

බින්දු බින්දු වැහිපොද



බින්දු බින්දු වැහිපොද 
තෙමද්දී රළු පොලොව 
සිසිල ගුලිවුනු හිතද 
නොනැවතී මොහොතකට 
සිසිල දෝතින් අරන් 
හිනැහේවි තුටු සිතින් ..
සුවඳ දෙන මිහිකතට
පබඳෙනා ගීතයට
පිල් ගසන මොනරුන්ද 
තාල රැඟුමන් තබයි ..
මැදියමේ සඳ කැනින් 
සොඳුරු ඉවුරක 
වැතිර සැනහෙමි 
සතපමින් හද මතක පොත 
සිතුම් පටකදී මෙන්
තවරවයි දෑස මත ..

Sunday, March 22, 2015

පිරිත 2015




දිග කොට මැන මැන 
කපපු ඉරපු ලී 
තට්ටු හතරක් උස්සන් 
නැගපු බැහැපු 
ලී වලට පණ දෙන්න 
ඇණ ගහපු ගලවපු 
තිර රෙදි ඇදපු 
සති දෙක තුන එක දිගට 
කැම්පස් එකට සෙට් වෙලා 
හීන දැකපු අපේ පිරිත ...

 උපරිමෙන් කරන්න  
නොකරපු දෙයක් 
නැතිතරන් කියලා හිතෙද්දි 
කරපු දේවල් රූප පෙළක් වගේ 
මැවෙනවා ඇස් ඉස්සහරහම..
අඩුපාඩු ගෙන්න කඩේ දුවපු
සල්ලි මදිපාඩු වහන්න 
පැය ගණන් පාරවල් වල 
පෑන් විකුනපු 
දවල්ට කන්න හවසට ගියපු 
කාලයක් තිබ්බා අපිටත් ...

හිතාගන්න බැරි තරම් 
සුපිරියට අපේ ඇස් ඉස්සරහම 
සිත්තම් වෙද්දී 
හිත නටපු හැටි මතකයි දැනුත් 
බවනේ තියන් රිජිෆෝම් කපපු 
කැටයම් නෙලපු සායම් ගාපු
හැමෝටම මග කියන තොරණ 
රජෙක් වගේ නැගිටිද්දී 
කැටයම් දිලිහෙද්දී 
සතුටුයි හදවතින්ම ..

මග දිගට ලයිට්වැල් 
දිලිහෙද්දී මැදියමට  
දැල්වුණු  පහන් වල
තෙල් නොහිඳුනාද මන්දා 
පිරිත අහවර වෙනකන්ම..
ඇස යොමන යොමන 
සිව් දෙසම  දිදුලන 
පාරාදීසයකි අද ..
අඩුපාඩු නොවෙන්නට
එකා මෙන් වෙහෙස උණු 
කාලයේ අවසනදි 
කඳුළු ඇස් තෙමනු ඇත 
අපිටත් නොදනිම..

පඩි පෙළ දිගට කැටයමට 
එළිය දෙන පහන් දැල්වුණු
සිරිය වඩවන්න  
නෙලුම් මල් පිපුණු 
පුන්කලස් දොරටු ළඟ ..
වලාකුළු බැමි ලඟින් 
කරඬුවේ මණ්ඩපයට ..
පිය නගද්දී හෙමිහිට 
තුන් දොහක් නිදි වරන් 
ගත්තු මහන්සිය 
මල්පල ගනිද්දී 
දිලිහෙමින් රැස් නැගුණු 
මණ්ඩපයයි 
අපේ හද නවාතැන ..

-UCSC අපි-
  



Tuesday, March 10, 2015

මවාපාන්නේ නැති අපි

දිලිසුනත් අව්වට හොඳට
පිත්තල නෑ වෙන්නේ රත්තරන්
හැබැයි පෙන්නේ පිටට
වගේමයි රත්තරන්
ඉතින් ඔහොම හිතන්
දිගටම යද්දී ...
තව මොනවා නොහිතෙයිද
මන්දා ඉතින් ....

කොලු කමට නිකමට වගේ
වැවුවට දිගට රැවුල කොන්ඩේ
අපිත් ඉගෙන ගන්න එවුන්
අනිත් උන් වගේම ...
වෙනස ...
ඔය කොන්ඩේ රැවුල
විතරයි අපිට නම් ....
පෙනුමෙන් මනින්න බැරි
මිනිස්සු හිටියේ ඉස්සරද ??
අද නැද්ද ??

ඔච්චරටම හණමිටි
පොදි බැඳන් කරේ ..
රස්තියාදුකාරයෝ උන්
කියලා කිව්වත් ...
ආතල් එකට රවුමක් දෙකක්
ඇවිද්දට සෙට් එක එක්ක ...
සද්දෙට සින්දුවක් කිව්වට
පොරවගන්නේ නැතුව
බැටළු හම් ....
මවාපාන්නේ නැති අපි
රැවුල කොන්ඩේ
වැවුවත් නැතත්
වෙනසක් නෑ බන් ....

Saturday, February 21, 2015

ජය මුමුණන හිත්වල ...




අපි එක්වුන හැම තරගෙම ..
සිහනද..
හැම තැනකම ..
පතිරෙනා ...

නිරතුරුවම සිව්දෙස ...
තණතිලි වල ..
සිරි ලංකා නාමය...
රජවෙනා ...

ආවත් මුළු ලෝකෙම ..
එකවර ..
සිංහයෝ..
උන් පරදනා ...

ඇස් පිල්ලන් නොගසන ...
මොහොතට..
මුළු තරගෙම ..
උඩු යටිකුරු කරවනා ...

උන් නොසිතන මොහොතට ..
මුළු පිටියම ..
දෙවනත් වන ...
පන්දුව යොමුවනා ...

හැම පිටියක් ගානෙම
අප සිංහයෝ ...
දිනවන ..
ජයගොස පතිරෙනා ...

ඇසුවන් සිත් වෙව්ලන..
පිති හරඹය ...
වස්සානය ..
ගෙන එනා ...

ලේ කකියන හිත්වල..
පොපියන ..
සිහ ධජ ..
ලෙලදෙනා ...

එන එන හැම පන්දුව ...
වා තල..
දෙදරනා ...
ගිනි පුලිඟුව කරමින ...

අද එක්වෙමු හැමදෙන ...
දිනවන්නට ...
පින්බර ..
මව්බිම ...

කඳු හෙල් මේ හැමතැන ...
උන්මාදය...
රජවෙන ...
දිනයක් එළඹෙනා ...

ජය මුමුණන හිත්වල ...
කුසලානය ..
නිරතුරුවම ...
දිළිසෙනා ...

පින්තුරය අන්තර්ජාලයෙනි.

Tuesday, February 10, 2015

වෙන කොහෙද, කඩේ බන් ....




අඩි දෙක තුනක් 
උඩින් යන්නට 
හිතෙයි නම් උඹට 
පව් කියා සිතෙයි මට 
වරක් නොව සිය දහස් 
වතාවත් ඇසිල්ලෙන් ...

අහංකාරකම් නම් 
එමට ඇත සැමතැනම 
දවසක ඔය අහංකාරය 
නිලංකාරය වෙයි 
උඹටත් නොදැනීම ...

මනුස්සයෙක් දුටුවිට 
මාන්නය වදී නම් 
ඉහ මුදුනටම 
ටවුමේ නිසාද මන්දා 
මනුස්සකම දෙපාවල ...

දිනෙක අසරණ වුනොත් 
උදව් අසාපන් 
මතක් කර දිය හැකියි 
තිබුණු මාන්නය 
කඳුළු පනින්නට 
ඇස් දෙකෙන්ම ...

අනෙක් උන් උඹේ අතකොළුවක් 
කියා නම් සිතෙන්නේ 
කඩේ යන උනුත් පව් 
උඹත් පව් අපිට නම් 
පොලවේ පය ගහලා ඉන්න 
හින්දා අපි කවදත් ..

අපිට නම් හිතෙන්නේ 
එක දෙයක් ..
යන උන්ද පව් යවන උන්ද පව් 
වෙන කොහෙද, කඩේ බන් ....

පින්තුරය අන්තර්ජාලයෙනි.