Blogger Tricks Blogger Tricks

Tuesday, June 3, 2014

හැකිද මා වැනි වෙන්න...

යනෙන විට නුඹ සමග
පෙර දිනේ වීදි වල
ලැබුණු ඒ ගරු නාම
මගේද නැත්නම් ඔබෙද
කියා නොසිතුවෙමි මම
රතු පලස් එළෙන විට
දැනුනි ආඩම්බරය
තව වරක් නොසිතාම
රැගෙන යමි නුඹව මම
යහළු මිතුරන් හටද
පවසමින් මා ගැනම
නුඹ ලැබූ ඒ සතුට
දනිමි නුඹ ලෙස මමද
රැක බලා ගත් විදිය
සිහි කරමි නුඹ මාව
ඒ ලෙසට මාද නුඹ
බලා ගත්තෙමි නිතර...
යනෙන මග හැම විටම...  
නමුදු අද අසරණව  
ඉස්තාලේ දොර අසල
තනිවෙලා මම මෙලෙස
සවි බලය ඇත තවම
නමුත් නොදනිමි කරුණ
නුඹ ගෙනා සිව් සකට
හැකිද මා වැනි වෙන්න...


Thursday, May 15, 2014

සම්බුදු අසිරිය



සුදු නෙළුමක් සොඬින් ගත් ඒ මහිමයට 
ගජ සෙන් කුලේ සුදු ඇතුගේ ඇරයුමට 
පෙන්වා සිහින මහමායා දේවියට 
මහ බෝසතුන් වැඩියා අප පින් බිමට 

ලංවෙන විටදී සිය දරුවා ලැබෙන දින 
සිය මව් දකින්නට මහමායාව යන 
පෙරහැර ගියා පසුකර ලුම්බිණි උයන 
නියමිත උනා මහ බෝ උපදිනා තැන 

මුළු ලෝකයම සැනසුණු ඒ පින් මොහොතේ 
බෝසත් සිංහ නද ඇසුනා සතර අතේ 
බල විස්කම් දෙමින් පෙන්වා බලය සිතේ 
පිපුනා සත් නෙලුම් ලුම්බිණි උයන් පෙතේ 

බුදු බව පතා සිදුහත් කුමරුගෙ පෙරුම 
ඉටුවන දිනය වළකනවා යන සිතුම 
සුදොවුන් සිතට නිරතුරුවම ඇතිවීම 
පෙන්වයි රජුගෙ සිත පුතු හට තිබූ පෙම 

නොහැකිය වලකන්න ඒ පින්බර මොහොත 
ලොව සනසන්න කුමරුන් ලොව දිනනු ඇත
දෝතින් රැගත් ගුණ පින් බල මහිමයට  
වෙන සක්විති පදවි සිදුහත් හට කුමට 

දුටුවා පෙරනිමිති සතරක් එකිනෙහිම 
සිතුණා හැර යන්න රජගෙය එම දිනම 
පවසා චන්න හට කුමරුන් ඒ සිතුම 
යෙදුනා යන්න මැදුරෙන් පුන් පෝ දිනම 

නේරංජනා ගංතෙර නැවතී මොහොතක් 
පවසා සිතුම සැකෙවින් දක්වා අරුතක් 
ගලවා ආභරණ නොසිතා තව මොහොතක් 
කැපුවා කෙස් වැටිය දෝතින් ගෙන කඩුවක් 

සිතමින් ලබන්නට මහ බල බුදු පැතුම 
කෙරුවා සය වසක් සිරුරට දුක් දීම 
අවසන වැටෙද්දී බෝසත් සියොළඟම 
මරුවා පටන් ගති තුටු ජය පැන් බීම 

වීර්ය ගෙන බුදු සිතට කල ඒ පින් පැතුම 
බැහැ වලකන්න කිසිවිට මර සිතුමකට 
උපදා බලය මහ බෝසත් යලි සිතට 
පිරුවා පාරමී දම් බුදු වන අරමුණෙම 

මල් වැහි වැටුණි මුළු ලෝකය සනසන්න
හිරු කැන් දිලුනි පිවිතුරු බව දන්වන්න 
මහ රළ පෙලුණි බල මහිමය පෙන්වන්න 
බුදු පදවිය ලැබුණි සසරින් මුදවන්න  

පින්තුරය අන්තර්ජාලයෙනි.


Tuesday, May 13, 2014

තවත් උදෑසනක්..



අහස් ගැබ අඳුරු වුනු
හිරුට තහනම් උදේ
දුම්රියක් ඇදෙනවා
මහ වැස්ස වැටෙද්දී...

තාර දැමු රළු පාරේ
පවස නිවනා වෙලේ
නැගුනු ඒ මිහිදුමෙන්
සුවඳ දෙයි වා තලේ ...

මුහුදු රළ පෙලින් පෙළ
හැපි හැපී පෙණ බිඳෙන
මුහුදු කුස වැහි බින්දු
වහ වහා ගිල ගනියි....

ගෙවුණු ඒ නිමේෂයේ
සිත දුවයි හැම තැනම
නිතර යන සිත් උයනේ
නතර වෙයි අවසනදී...

පින්තුරය අන්තර්ජාලයෙනි.

Friday, May 9, 2014

නොහැක නොදකින්නට



යනෙන මග සැමතැනම
හමුවනා නුඹේ රුව
සිත ගැටෙනු ඇත නිතර...
කතා කළ, ලඟින් රැඳී
නුඹම නොහදුනන ලෙසින් අද
යන විටදී මගෙන් දුර
නොඑමි විමසන්න සැප දුක
පෙර ලෙසේ....

නුඹේ ඔය රුව මගේ
නෙත ගැටෙන විට නිතර
දුරින් සිට ඔබ දෙස බලා
සැනසුවෙමි සිත....
එකට ගෙවූ නිමේෂයන්
කියයි තනිකම හිතට
නුඹේ නොවෙයි වරද
පමණි මාගේම එය...

මල් පිපුණු වසන්තය
දකින්නට තවත් නැත
මල් නොමැති මල් උයනෙ
සමනලුන් හිඳ කුමට,
හැර වෙන්ව යනු මැනේ
නොඑන්නට කිසි දිනෙක,
මල් පිපෙන උයනකට...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

පින්තුරය අන්තර්ජාලයෙනි.

Monday, May 5, 2014

අපූරු මිනිසෙක් ගැන සටහන් තබමි

මාගේ මතකයේ හැටියට ඒ 2002 වසරයි.පළමුවරට ක්‍රිකට් තරගයක් නැරඹීමට මට හැකිවිය.අයියලා කවුරුත් නැති නිසාත් තාත්තා ක්‍රිකට් වලට වැඩි කැමැත්තක් නැති නිසාත් කුඩා කල මාහට අපේ භාෂාවෙන් කියන අයුරින් මැච් එකක් බලන්න චාන්ස් එකක් සෙට් වුනේම නැත.නමුත් ලද අවස්ථාවෙන් හිතේ හැටියට බලන්න පටන් ගතිමි.මැච් නොබලුවද ඒ දවස්වල සිට අද දක්වා තිබෙන මැච් පිස්සුව නිසා ක්‍රීඩකයන්ගේ නම් සියල්ලක්ම පාහේ දැනගෙන සිටියෙමි.මේ අතුරින් කිහිප දෙනෙක් මා ප්‍රියකළ අය අතර විය.මුළු තරගය පුරාවටම මා එක් විශේෂ පුද්ගලයෙක් දුටුවෙමි.ලද මොහොතින් ඒ ගැන සටහනක් මෙලෙස තබමි.




ඔහු සෙමෙන් එක් අන්තයකින් දිව එද්දී සියලු දෙනාම ඔල්වරසන් දීමෙහි අඩුවක් නම් කරන්නේ නැත.ඔහුගේ පන්දුවට මුහුණ දෙන්නේද දෙවරක් තුන්වරක් සිතා බව නම් පැහැදිලි කරුණක් විය.ඔහු පන්දු රැකීමද මනාව කළේය.ඔහුගේ ක්‍රීඩා දිවියේ කල වික්‍රමයන් ගැන සටහන් නොතබමි.නමුත් ඔහු ගැන ලිවිය යුතුමය.ඔහු නමින් මුත්තයියා මුරලිදරන් ය.නම කිවූ සැනින් මතකය එන අපූරු මිනිසෙකි.ආදරයට කිවේ මුරලි කියාය.තරග කරන්නට කෑදර වීමක් මා කිසි දිනෙක දැක නැත.සිනා මුසු මුහුණින් නිරතුරුව සිටි ඔහුට බාධා විශාල ප්‍රමාණයක් එල්ල විය.ඒ ඔහුගේ විශේෂ හැකියාව නිසාමය.ඔහුට තරග වලින් ඉවත් වී සිටීමටද සිදු විය.පරීක්ෂණ ගණනාවක්ම පැවැත්විණි.ඔහු කෑගසන්නට ගියේ නැත.ඉල්ලීම් දිනාගැනීමට උපවාස කලේද නැත.ඔහු වැඩේ කරලා පෙන්වන ජාතියේ අයෙකි.ඔහු මෙවරද එසේ කළේය.ක්‍රිකට් වල උරුමක්කාරයන් යැයි කියාගන්නා අයවලුන් පරදා අවසානයේ ඔහු ජය ගත්තේය.කොටින්ම කිවතොත් මුළු ක්‍රිකට් ලෝකයම ඔහුට නොපෙන්වන බියක් දැක්වූ බව නම් ඉඳුරාම පැවසිය හැකිය.ඔහු දමිළ ජාතිකයෙකි.එවකට ලංකාවේ LTTE ත්‍රස්තවාදය පැවති කාලයයි.නමුත් සිංහලයන් ඔහු සමග බැඳුනේ ඔහුගේ ගතිගුණ හා හැකියාවන් නිසාවෙනි.

අවසානයේ ක්‍රිකට්‌ ලොව සියලු දෙනා ඔහුව පිළිගත්හ.ඔහු ටෙස්ට් කඩුලු 800 සීමාවද පසු කළේය.නමුත් ඔහු ක්‍රීඩා කලේ නම්බු නාම ගන්නට නොවේ.වාර්තා තමා සතු කරගන්නටද නොවේ.අවසානය ටෙස්ට් තරගය ඔහු ක්‍රීඩා කලේ පෙර දැනුම්දීමක්ද සහිතවය.ඔහුට කඩුලු ගැනීමේ අවශ්‍යතාවක් තිබුනේ නම් ඔහු කරන්නේ කඩුලු 800 ලබාගත් පසුව ටෙස්ට් තරග වලින් ඉවත් වීමයි.අවසාන තරගය පෙර ඔහු සතුවුයේ කඩුලු 792 කි.ඔහු පැවසුවේ තමාට එය ලැබිය යුතු නම් ලැබෙන බවය.මාගේ විශ්වාසයද එයම වේ.ඔහු මා සිත් ගැනීමට එයද හේතුවකි.වසර 30ක යුද්ධය නිමාවූ පසු මුරලිට විදේශීය නාලිකාවක වැඩසටහනකට ආරාධනා ලැබිණි.නම් ගම් සහිතව විවේචනය මා එතරම් කැමැත්තක් දක්වන දෙයක් නොවේ.එබැවින් ඒ ගැන නොලියමි.මේ වැඩසටහන තුලදී ඔහු ලවා වැරදි ප්‍රකාශයන් ලබාගන්නට නිවේදකයා මහත් වැයමක් ගත්තේය.මුරලි පැවසුවේ අදහස් කීපයකි.ඔහු දමිළ බවත්, යුධ සමයේ 1977 දී ඔහුගේ නිවසද විනාශ වූ බවත් ඔහු මතක් කර දුන්නේය.අවාසනයේදී නිවේදකයාට පැවසුවේ "what jesus said, forgot and forgive and go" කියාය.මුරලි සැබවින්ම ශ්‍රී ලාංකිකයෙකි.ඔහු ජාතිය පාවා දුන්නේ නැත.රට පාවා දුන්නේ නැත.මහත්මයන්ගේ ක්‍රීඩාව මහත්මයෙකු ලෙස කල ඔහු සැබවින්ම විශිෂ්ට චරිතයකි.





ඔහුගේ උපන් දිනය පසුගිය අප්‍රියෙල් 17 වෙනිදාවට යෙදී තිබුණි.මේ සටහන ඒ වෙනුවෙනි.


පින්තුරය අන්තර්ජාලයෙනි.

Thursday, May 1, 2014

දෙව් උයනකි



වෙල් සියකි
නිල් දියකි
පන්සලකි
ගම් ගොඩකි

තුරු පසකි
සිසිල රැකි
පවස මෙකි
නිවිය හැකි

පණ දහසකි
එකම සිතකි
ගුණ කම් රැකි
එක පවුලකි

ගුරු පාරකි
ඉපනැල්ලකි
දොළ පාරකි
දෙව් උයනකි

පින්තූරය අන්තර්ජාලයෙනි.

Sunday, April 27, 2014

සිත් මල් විල


තනිව මුළු ගැන්වෙමින්
නිදමි මම ලැබෙනතුරු
මසිත හද මල් විලට
සතුට දෙන නිදහසක්....

නැත ඉමක් හෝ කොනක්
අතරමං වෙලා මං
නුඹට පෙම් බැඳී වරද
නැවත නොකරමි මං....

නැහැ සිතක් විදින්නට
ජීවිතය බිඳක් වත්
තුරු හඬන ගිම්හානෙ
ගසක් වෙමි මං....

නොහැක මට කරන්නට
නුඹ කැමති විදියටම
ආදරය සැමවිටම
හිඳින්නම් තනිව මං....

සැබෑ පෙම යනු ලොවේ
නිරතුරුව හමුවීම
පෙම් වදන් තෙපලීම
වුනේ නැත කිසි දිනෙක....

නුඹට නොහැඟෙන
මට හැඟෙන එය
කවදා කෙලෙසක
වටහා ගනීදැයි නුඹ
නොදනිමි මං.....

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

Wednesday, April 23, 2014

රොන් ගති බමරු


ලොව සුවඳවත් කරන
පියුම් ඇත ලොව
බොහොමයක් සතර දෙස
බමරු යන එන නිතර..
අසරණයි මල මෙලෙස
බමරු යනෙන විට නිතර
නමුත් දිය යුතුව ඇත
රොන් යනෙන බමරුන්ට
සුවඳ පමණක් රැගෙන
රොන් නොගෙන ඇවිත් යන
බමරු, සැනසිල්ල වේ මලට....

මෙවන් පියුමන් බොහෝ ඇත
නමුත් අසීරුය දකින්නට
එයයි ඒ උරුම වූ
ජීවිතය එවන් පියුමකට...

නොහැගුනු සිහිනෙක

ලියන්නට පද සහසක්
නොලැබෙන නුඹ ගැන රහසින්
ගෙවමි කල් මේ අයුරින්
සිතා නුඹ ගැන මං...
නොහැගුනු සිහිනෙක
සිත්තම්කරු වී
අකුරු කරනෙමි මං...

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

Tuesday, April 22, 2014

දියතලාවේ සොඳුරු මතකය


ගෙවී ගිය විසි එක් දින
ගෙවුණු බව නොදැනුනත්
එකතු වූ මතකයන්
තවමත් සනසයි සිත..

පැයෙන් පැය දිනෙන් දින ගෙවී ගොස්
සවිමත් වූ මිතුදම් අප තුල
පවතීවි දිවි ඇති තෙක් සිතේ
අනගි සිත්තමක් මෙන්..

පළමු දින සිට කඳවුරේ
කල කී දේ බොහෝ තිබුණත්
එකට සිටියත් අප සැම එකා මෙන්
ඒ වෙන්වුණු මොහොත
කෙසේ අමතක කරන්නද ??

(සැ.යු. දියතලාව ඉතාම ලස්සන මනරම් ප්‍රදේශයකි.)